චීනය සහ සර්බියාව අතර ඒකාබද්ධ නිවේදනයක්
2024-05-09 02:41:12
Share with:

චීන මහජන සමූහාණ්ඩුව සහ සර්බියා ජනරජය අතර අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව පුළුල් කරමින් ඉහළට නංවාලීම පිළිබඳවත් නව යුගයේ චීන-සර්බියා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳවත් ඒකාබද්ධ නිවේදනය ප්‍රකාශයට පත් කෙරේ.

සර්බියා ජනරජයේ ජනාධිපති Aleksandar Vucic මහතාගේ ආරාධනයෙන්, චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා 7 වැනිදා සිට 8 වැනිදා දක්වා එරට නිල සංචාරයක නිරත වී ඇත.

දෙරට රාජ්‍ය නායක දෙපළ උණුසුම් මෙන්ම මිත්‍රශීලී වාතාවරණයක සාකච්ඡා පැවැත්වීය. චීන-සර්බියා සබඳතා, අංගසම්පූර්ණ සහයෝගීතාව තහවුරු කර ගැනීම, "එක් තීරයක් එක් මාවතක්" ඒකාබද්ධව ගොඩනැගීම, චීන - මධ්‍යම සහ නැඟෙනහිර යුරෝපා සහයෝගීතාව, චීන-යුරෝපා සබඳතාව සහ පොදු සැළකිල්ලට ලක් ජාත්‍යන්තර සහ කලාපීය කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනිමින් පොදු එකඟතාවයකට පැමිණ තිබේ.

චීන මහජන සමූහාණ්ඩුව සහ සර්බියා ජනරජය පහත සඳහන් පරිදි ඒකාබද්ධව ප්‍රකාශ කරයි.

1. සර්බියාව තම රට ආර්ථික හා සමාජීය සංවර්ධනය මෙන්ම ජනතාවගේ ජීවනෝපාය වෙනුවෙන් ඉටු කර ඇති ජයග්‍රහණ සම්බන්ධයෙන් චීනය ඉහළින් අගය කරයි. සර්බියාවේ සංවර්ධනය සහ ජනතාවගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ " සර්බියාව 2027 - අනාගතයට ශීඝ්‍රගාමී ප්‍රවේශය" ඇතුළු සංවර්ධන වැඩපිළිවෙල නියමිත පරිදි ක්‍රියාත්මක වීම කෙරෙහි චීනය ප්‍රශංසා පළ කර ඇත.

2. දෙරට උත්තරීතර මට්ටමේ දේශපාලන සංවාද පැවැත්වීම, චීන-සර්බියා සබඳතා ශක්තිමත් කර ගැනීමට දැවැන්ත පිටුවහලක් වන බැවින් එම නායක දෙපළ සමීප සබඳතා තවදුරටත් තහවුරු කිරීමට හමුවීම්, දුරකථන ඇමතුම් සහ පණිවුඩ හුවමාරු අඛණ්ඩව පවත්වා ගැනීමට එකඟ වෙයි.

3. ජාතික ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය අගය කරමින් අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන මූලධර්මය පදනම්ව දෙපාර්ශ්වයේ පොදු සැළකිල්ලට ලක් කරුණු සම්බන්ධයෙන් එකිනෙකාට ස්ථිර සහය දැක්වීමට චීනය හා සර්බියාව බලාපොරොත්තුවෙන් සිටී.

4. "එක් තීරයක් එක් මාවතක්" ඒකාබද්ධ සංවර්ධනය ඉහළ ගුණාත්මකභාවයෙන් ගොඩනැගීමේ නව අදියරකට පිවිසීම සඳහා ආර්ථිකය, ආයෝජනය, විද්‍යා තාක්‍ෂණය, නවෝත්පාදනය, ඩිජිටල්කරණය, තොරතුරු සන්නිවේදනය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතාව නොකඩවාම පුළුල් කරමින් තහවුරු කර ගැනීමට දෙපාර්ශ්වය එකඟ වෙති. නව යුගයේ චීන-සර්බියා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම වෙනුවෙන් පදනමක් බිහි කිරීමට අපේක්ෂා කෙරේ.

5. හංගේරි-සර්බියා දුම්රිය නවීකරණ ව්‍යාපෘතිය එහි කලාපීය සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා ඉතා වැදගත් වන අතර, මානව හුවමාරු පහසුකම් සලසා වෙළඳ නිෂ්පාදිත මෙන්ම ආර්ථික ගණුදෙනු පුළුල් කිරීමට නව අනාගතයක් ගොඩනගනු ඇතැයි දෙපාර්ශ්වය විශ්වාස කරති.

6. රෝග පාලනය, හදිසි සෞඛ්‍ය ප්‍රතිචාරය, දුරස්ථ වෛද්‍ය සේවාව සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතා ශක්තිමත් කිරීම සඳහා සර්බියාව සමග ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් පසු වෙයි.

7. සංස්කෘතිය, අධ්‍යාපනය, ක්‍රීඩාව, සංචාරය, ගුවන්විදුලි හා රූපවාහිනි සහ ප්‍රවෘත්ති සන්නිවේදනය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතා පුළුල් කිරීම සඳහා දායක වීමට දෙපාර්ශ්වය අපෙක්ෂා කරති.

8. චීන - මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා සහයෝගීතා යාන්ත්‍රණය පිළිබඳ ධනාත්මක කාර්යභාරය දෙපාර්ශ්වය විසින් ඉහළින් අගය කර ඇත. එම සහයෝගීතා යාන්ත්‍රණය පදනම්ව තිරසර මෙන්ම විධිමත් සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වය මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය රටවල් සමඟ දායක වනු ඇත.

9. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතිය සඳහා වූ ජාත්‍යන්තර විධිමත් බව අනුගමනය කළ යුතු බවත්, ඒ ඒ රටවල ස්වාධීනත්වය, සමානාත්මතාවය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පදනම් වූ බහුපාර්ශ්වික සහයෝගීතාවයේ රැඳී සිටිය යුතු බවත් දෙපාර්ශ්වය අවධාරණය කරති.

10. යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් සැලසීම සහ පලස්තීන ඊශ්‍රායල සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජගත් ප්‍රජාව දරන උත්සාහයන්ට දෙපාර්ශ්වය පිටුවහලක් ලබා දෙන අතර, කලාපීය සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට කැපවෙන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිති.

11. සියලු ආකාරයෙන් සිදු කෙරෙන ත්‍රස්තවාදය හෙළා දකින අතර ද්විපාර්ශ්වික මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික රාමු තුළ ත්‍රස්ත විරෝධී සහයෝගීතාව තහවුරු කිරීමට දෙපාර්ශවය අඛණ්ඩව දායක වනු ඇත.

12.චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සර්බියා ජනරජයේ නිල සංචාරය සහ රාජ්‍ය නායක දෙපළ එක්ව සිදු කළ ඵලදායී සාකච්ඡා, චීන-සර්බියා මිත්‍ර සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා දැවැන්ත  අර්ථයක් සපයනු ඇති බවට දෙපාර්ශ්වය විශ්වාසය පළ කරති.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම