තීරණාත්මක ගෝලීය ප්‍රවණතාවන් හමුවේ සිදු වූ චීන ජනාධිපතිවරයාගේ යුරෝපා සංචාරය
2024-05-09 14:13:54
Share with:

ලෝකයේ ආරක්ෂාව, ආර්ථික සහ දේශපාලන අස්ථාවරත්වය, පාරිසරික විනාශය, යුද උණුසුම වැනි සාධක ගණනාවක් උත්සන්න වෙමින් පවතින ගෝලීය තත්ත්වයක් හමුවේ චීන ජනාධිපතිවරයාගේ යුරෝපා සංචාරය ඉතා තීරණාත්මක බව ශ්‍රී ලංකා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය වැනි දැවැන්ත රටක ජනාධිපතිවරයා මෙවැනි මොහොතක යුරෝපය සමඟ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම ඉතා වැදගත් අවස්ථාවකි. ප්‍රංශය, සර්බියාව සහ හංගේරියාවේ සිදු කර ඇති මෙම සංචාරයේ දී චීන ජනාධිපතිවරයා මෙම රටවල් සමඟ පවතින ආර්ථික, වෙළඳ සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සහ වත්මන් ගෝලීය පොදු ගැටළු සම්බන්ධයෙන් යම් එකඟතාවකට පැමිණීමටත් අපේක්ෂා කරයි. නමුත් බටහිර යම් යම් දේශපාලනික වුවමනාවන්ගේ පෙළගැස්ම හේතුවෙන් එය පහසු කටයුත්තක් නොවුන ද චීන ජනාධිපතිවරයා එම කාර්යභාරය නිසි අයුරින් සිදු කරන බව මෙම සංචාරය තුළින් මනාව ගම්‍ය වනු ඇතැයි හෙතෙම කියා සීටී. 

චීනය ආර්ථිකමය වශයෙන් බලවත් වූ දා සිට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සලකනුයේ චීනය තමන්ට තර්ජනයක් ලෙසයි. එහෙයින් චීන සංවර්ධනය පාලනය කිරීමට ඔවුන් උත්සහ කරමින් සිටී. 21 වන සියවස ආරම්භයේ සිටම ආර්ථික වශයෙන් ශක්තිමත් වන චීනය සිය දියුණුව සාක්ෂාත් කර ගෙන ඇත්තේ කිසිදු රටක් අත්පත් කර ගැනීමෙන්, එහි සම්පත් සොරකම් කිරීමෙන් හෝ කිසිදු රටක ආණ්ඩු වෙනස් කිරීමෙන් නොව පොදු සහයෝගී වැඩපිළිවෙළක් ඔස්සේ බව මොහාන් සමරනායක මහතා අවධාරණය කරයි. එහෙයින් චීනය මර්දනය කිරීමට ගන්නා සියලු ප්‍රයත්නයන් ලෝකයේ සාමයට තර්ජනයක් මිස ලෝකයේ හෙට දවසේ යහපත වෙනුවෙන් හේතුවක් නොවනු ඇත. මෙම සියලු බාධක හමුවේ වත්මන් ප්‍රංශ-චීන සහයෝගීතාව මෙන්ම යුරෝපා-චීන සම්බන්ධතාව ශක්තිමත් කර ගනිමින් චීනය පොදු අරමුණක කටයුතු කිරීම සාධනීය වන බව ද හෙතෙම සඳහන් කරයි. 

ඇමරිකාව උපක්‍රමික ලෙස සිය ආර්ථික, දේශපාලනික සහ මිලිටරි අවශ්‍යතා වෙනුවෙන් චීන-යුරෝපා විරසකයක් ඇති කිරීම‍ට උත්සාහ කරමින් සිටී. එවැනි අවස්ථාවක ෂී ජින් පිං මහතාගේ මෙම සංචාරය ලෝකයේ ප්‍රධාන රටවල සහ විචාරකයින්ගේ දැඩි අවධානය දිනා ගෙන ඇත. එමෙන්ම මෙම සංචාරය මගින් ලෝක සාමය වෙනුවෙන් යහපත් සංවාදයක් සහ ඵලදායී ප්‍රවේශයක් විවර කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම