චීන ජනාධිපතිවරයාගේ යුරෝපා සංචාරය ලෝක සාමය, සංහිදියාව වර්ධනයට සහ ස්ථාවරත්වයට ප්‍රබල සාධකයක් වනු ඇත
2024-05-08 14:44:42
Share with:

චීන ජනාධිපතිවරයාගේ යුරෝපා සංචාරය වර්තමානයේ ඇවිළෙන ගැටුම් වෙනුවට සාමයේ මාවත ගවේශනය කිරීමට ගත් උත්සාහයක් බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ආචාර්ය වීරසිංහ මහතා කියා සිටී. චීන ජනාධිපති සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ෂී ජින් පිං සහෝදරයාගේ ප්‍රංශ සංචාරය චීනය සහ ප්‍රංශය අතර රාජ්‍යතන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 60ක් පිරීම නිමිත්තෙන් රටවල් දෙක අතර සබඳතාව පදනම් කරගනිමින් සිදු කෙරිණ. ඔහු ප්‍රංශයට පැමිණීමට ප්‍රථම පළ කරන ලද ලිපියක ඉතා වැදගත් කරුණු 3ක් සඳහන් කර ඇත. චීනය සහ ප්‍රංශය වසර 60කට පෙර ප්‍රංශයේ “චාල්ස් ඩී ගෝල්” සමයේ ආරම්භ කළ තානාපති සබඳතා හි ජීවය පදනම් කර ගනිමින් එම සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාම එහි පළමු අරමුණ විය. දෙවන කාරණය නම් චීනය බාහිර ලෝකය සමඟ වඩ ව‍ඩාත් විවෘත වීමට කටයුතු කරමින් සිටී. එම පණිවුඩය ප්‍රංශයට රැගෙන යමින් ප්‍රංශය සමග ආර්ථික, විද්‍යාව ඇතුළු අංශයන්හි සබඳතා පුළුල් කර ගැනීමට ඔහු අපේක්ෂා කර ඇත. තෙවන කාරණය නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථිර සාමාජිකයින් දෙදෙනෙක් ලෙස ලෝකය පුරා ඇති වෙමින් තිබෙන ගැටුම්කාරී වාතාවරණය මැද ප්‍රංශය සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ප්‍රකාශ කිරීම වේ.  ප්‍රංශ ජනාධිපතිවරයා සහ යුරෝපා සංගමයේ සභාපතිනී උර්සුලා වොන්ඩර් මහත්මිය සමග සහ ප්‍රංශයේ විවිධ ආර්ථික කණ්ඩායම් සමග පැවති සාකච්ඡාවලදී මෙම කරුණු පදනම් කර ගනිමින් එම සාකච්ඡා ඉදිරියට පැවැත් වූ බව දැකගත හැකි විය. මූලික වශයෙන් සහයෝගය, තානාපති ‍සේවා ආරම්භ වූ ආකාරය, එම තානාපති සබඳතා පසුගිය වකවානුවේ ක්‍රියාත්මක වූ ආකාරයට තවදුරටත් ඉදිරියටත් වර්ධනය විය යුතු අදහස ඔහු ඉදිරිපත් කළේය. චීනය වඩාත් විවෘත වීම යන කාරණාවේදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශාල සහයෝගයකට පිවිසීම සඳහා චීන ජනාධිපතිවරයා කරුණු ඉදිරිපත් කර ඇත. ඔහු සඳහන් කළේ  “ප්‍රංශ ගොවිපොළේ සිට චීන කෑම මේසය දක්වා” අංගසම්පූර්ණ කර්මාන්තදාමය ගොඩනැගෙන බවයි. එහි ඔහුගේ අදහස වී ඇත්තේ කෘෂිකාර්මික මෙන්ම අනෙකුත් ක්ෂේත්‍ර සමග ප්‍රංශය සමග චීනය කටයුතු කිරීමට ඇති කැමැත්ත පිළිබිඹු කිරීමයි.

ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයින් ලෙස ප්‍රංශයත් චීනයත් වගකීමෙන් ක්‍රියා කළ යුතුය යන ආකල්පය ෂී ජින් පිං සහෝදරයා මෙම සංචාරයේ දී  ඉදිරිපත් කර තිබේ. පලස්තීන ඊශ්‍රායල් ගැටුම සම්බන්ධයෙන් ඔහු පැහැදිලිව ප්‍රකාශ කළේ පලස්තීනයට ස්වාධීන රාජ්‍යක් නොලැබීම මෙම මැදපෙරදිග ගැටුම්වලට මූලික හේතුව බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා කර ඇති ද්වී රාජ්‍ය විසඳුම වෙනුවෙන් චීනය පෙනී සිටින බව චීන ජනාධිපතිවරයා  සඳහන් කර ඇත. එමෙන්ම පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධාන‍යේ පූර්ණ සාමාජිකත්වය ලබා දීම වෙනුවෙන් පෙනී සිටින බවත්, ප්‍රංශය සමග එක්ව මේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා චීනය ඉතා සමීපව කටයුතු කිරීමට ඇති කැමැත්ත ද මෙහිදී ප්‍රකාශ කර තිබේ.

රුසියානු යුක්රේන ගැටුම පිළිබඳව ෂී ජින් පිං සහොදරයා සඳහන් කළේ චීනය යනු මෙම ගැටුමේ පාර්ශ්වයක් නොවන බවත් චීනය මෙම ගැටුමට සහභාගී නොවන බවත්ය. මෙම ගැටුම පදනම් කර ගනිමින් තුන් වැනි ලෝකයේ රටවල් ඊට ඈඳා ගැනීමට දරන උත්සාහයට එකඟ නොවන බවත් ඉදිරියේ දී සාකච්ඡා සඳහා රුසියාව සහභාගී නොවේ නම් එම සාකච්ඡා ඵළ රහිත බවත් ඔහු අවධාරණය කර ඇත.

ඉහත කරුණු සියල්ල පදනම් කරගනිමින් චීනය සහ ප්‍රංශය අතර ගිවිසුම් රැසකට මෙම සංචාරය තුළදී අත්සන් තැබීමට හැකි වී තිබේ. ඒ අනුව ෂී ජින් පිං සහෝදරයාගේ ප්‍රංශ සංචාරය දෙරට අතර සහයෝගය වර්ධනය කිරීමට පමණක් නොව ලෝක සාමය සංහිදියාව වර්ධනය කරන්නටත් ස්ථාවර කරන්නටත් දායකත්වය සැපයූ සංචාරයක් වූවාට කිසිඳු සැකයක් නොමැති බව

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ආචාර්ය වීරසිංහ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම