චීන හා ප්‍රංශ ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක්
2024-05-06 23:51:25
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (6) පස්වරුවේ Élysée මාලිගයේදී ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය.

චීන-ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයේ 60වන සංවත්සරය නිමිති කරගෙන තමාට ප්‍රංශයේ 3වැනි වරට සංචාරය කිරීමට ලැබීම පිළිබඳ සතුටු වන බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය. මෙවර සංචාරය මගින් Emmanuel Macron ජනාධිපතිවරයා සමග එක්ව දෙරටේ ඉදිරි වසර 60 සඳහා නව ගමනක් ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය. එම නව ගමන සඳහා ස්වාධීන්වය,අන්‍යෝන්‍ය අවබෝධය, දුරදර්ශීත්වය, අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණය මත ආරම්භ කෙරුණු චීන-ප්‍රංශ සබඳතාවට වත්මන් යුගයේ නව අරුත් එක් කළ යුතු ය. ලෝකය විශාල විපර්යාසයකට මුහුණ දී සිටින වර්තමානයේ චීනය හා ප්‍රංශය  ස්වාධීත්වයේ එල්බ සිටිය යුතු බවත්, අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ලෝකයේ සුසංගතභාවය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත්, දුරදර්ශී දැක්මෙන් යුතුව බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩ නගා ගත යුතු බවත්, අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ වඩාත් ඉදිරියට ගෙන යා යුතු බවත්, චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ප්‍රංශය සමග උපායමාර්ගික අදහස් හුවමාරු පවත්වා ගැනීමට කැමති චීනය  ප්‍රංශයේ කේන්ද්‍රීය ප්‍රතිලාභයන්ට ගරු කරමින් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ උපායමාර්ගික ස්ථාවරත්වය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව එහිදී ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගතා පිළිබඳ පුළුල් හැකියාවන් ‍ගවේෂණය කිරීම මෙන්ම ද්විපාර්ශ්වීය වෙළඳාම ධනාත්මක හා සමබරව වර්ධනය කිරීම කෙරෙහි ද  චීනය බලාපොරොත්තු පළ කරයි. චීනය ප්‍රංශයේ ගුණාත්මක කෘෂි නිෂ්පාදිත වැඩියෙන් ආනයනය කරනු ඇත. එමෙන්ම අධි නව තාක්ෂණ හා අධික අතිරේක වටිනාකම් සහිත භාණ්ඩ ආනයනය කිරීමටත් අපේක්ෂා කෙරේ. දෙරට ගුවන් සේවාව හා අභ්‍යවකාශය ඇතුළු සාම්ප්‍රදායික ක්‍‍ෂේත්‍රවල සහයෝගතා පුළුල් කළ යුතු අතර න්‍යෂ්ටික බලශක්ති, නවෝත්පාදනය, මුල්‍ය සේවාව යන අංශවල සහයෝගතා ශක්තිමත් කළ යුතුය. එමෙන්ම හරිත බලශක්තිය, බුද්ධිමය නිෂ්පාදනය, ජෛව විද්‍යා,  වෛද්‍ය සේවා, ඖෂධ නිෂ්පාදනය, ඒ.අයි. තාක්ෂණය යන නවීන ක්ෂේත්‍රවල සහයෝගතා ගවේෂණය කිරීමට දෙරටට යොමු විය හැකි යැයි චීනයේ මතය වී තිබේ.

චීනයේ නිෂ්පාදන කර්මාන්තයට ප්‍රවේශවීම මුළුමනින් විවෘත කර ඇත.  විදුලි සන්නිවේදනය, වෛද්‍ය සේවාව යන සේවා කර්මාන්තවල වෙළඳපොලට ප්‍රවේශවීම විවෘත කිරීම කඩිනම් කෙරේ. වැඩි ප්‍රංශ ව්‍යාපාර චීනයේ ආ‍යෝජනය සිදු කිරීම පිළිගැනේ. එසේම සිය ව්‍යාපාරවලට ප්‍රංශයේ ආයෝජනය කිරීමේදී මනා ව්‍යාපාරික පරිසරය හා ස්ථාවර සංවර්ධන අ‍පේක්ෂාවක් හිමි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා පවසා ඇත.

චීනය හා ප්‍රංශය දැවැන්ත සංස්කෘතික රටවල් දෙකකි. දෙරට මානව හා සංස්කෘතික ආශ්‍රය වැඩිදියුණු කළ යුතුය. චීන ප්‍රංශ සංස්කෘතික හා සංචාරක වසර ඇතුළු ක්‍රියාකාරකම් සඳහා දෙරට එක්ව මනා ලෙස කටයුතු කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රංශය හා චීනය අන්‍යෝන්‍ය ගරුත්වයෙන් දූරදර්ශී ව සහයෝගතා පවත්වා ඇතැයි ප්‍රංශ ජනාධිපතිවරයා එහිදී කියා සිටි‍යේය. ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම හා කණ්ඩායම් එදිරිවාදිකම් වැළැක්වීම සඳහා දෙරට අතිශයින් වැදගත් කාර්යභාරයන් ඉටු කරන බව ද ඔහු කීය. චීනය සමග වඩාත් සමීප ආර්ථික සම්බන්ධතාවය හා බහුපාර්ශ්වීය සම්බන්ධීකරණය පැවැත්වීමට අපේක්ෂා කරන ප්‍රංශය, දෙරටේ උපායමාර්ගික හවුල්කාරීත්වය වැඩි ප්‍රතිඵල දිනා ගැනීම ප්‍රවර්ධනය කිරීමට ප්‍රයත්න දරනු ඇත. ප්‍රංශය චීන ව්‍යාපාරවලට එරෙහිව වෙනස්ව සැලකීම ක්‍රියාත්මක නොකරයි. චීන අධි තාක්ෂණ ව්‍යාපාර ප්‍රංශයේ ආ‍යෝජනය හා සහයෝගතා පැවැත්වීම පිළිගැනේ. ගුවන් සේවා, අභ්‍යවකාශ, සිවිල් න්‍යෂ්ටික බලශක්ති යන ‍ක්ෂේත්‍රවල සහයෝගතා ගැඹුරු කිරීමට ප්‍රංශය අපේක්ෂා කරයි. එමෙන්ම දේශගුණික විපර්යාසය, ජෛව විවිධත්ව ආරක්ෂාව, ඒ.අයි. තාක්ෂණය ඇතුළු ගෝලීය ප්‍රශ්න පිළිබඳව චීනය සමග අදහස් හුවමාරු හා සහයෝගතා තහවුරු කිරීමට ප්‍රංශය කටයුතු කරනු ඇත. චීනය සමග බහුපාර්ශ්විකවාදය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා ජාත්‍යන්තර නීති පොදුවේ ආරක්ෂා කිරීමෙහි නිරත වීමට කැමති බව ද ඔහු පැවසීය.

අනතුරුව නායක දෙපළ යුක්‍රේන අර්බුදය හා පලස්තීන ඊශ්‍රායල ගැටුම ඇතුළු පොදු සැලකිල්ලට ලක් ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳව අදහස් හුවාමරු කර ගෙන ඇත.   

මැදපෙරදිග තත්ත්වය, ඒ.අයි. තාක්ෂණය හා ගෝලීය පාලනය, ජෛව විවිධත්වය හා සාගරය, කෘෂි සයෝගතා පිළිබඳ ඒකාබද්ධ නිවේදන හතරකට දෙපාර්ශ්වය අත්සන් තැබූහ. හරිත සංවර්ධනය, ගුවන් සේවාව, කෘෂිකර්ම හා ආහාර, වාණිජ සේවාව, සංස්කෘතිය යන ක්ෂේත්‍ර පිළිබඳ ද්විපාර්ශ්වීය සහයෝගතා ලිපිලේඛන 20කට අත්සන් කර තිබේ.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම