චීන ප්‍රංශ යුරෝපා නායකයන්ගේ ත්‍රෛපාර්ශ්වික හමුව ප්‍රංශයේ Élysée මාලිගාවේදී
2024-05-06 16:32:01
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Élysée මාලිගාවේදී ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා හා යුරෝපා සංගමයේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය සමග ප්‍රංශ වේලාවෙන් අද(6) පෙරවරුවේ චීන ප්‍රංශ යුරෝපා නායකයන්ගේ ත්‍රෛපාර්ශ්වික හමුව පැවැත්විණ.

ප්‍රංශ ජනාධිපතිවරයා හා යුරෝපා සංගමයේ සභාපතිවරිය යළි හමු වීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සතුට පළ කරයි. මෙම ත්‍රෛපාර්ශ්වික හමුවෙන් මෙවර තම යුරෝපා සංචාරයේ වැදගත්කම ශක්තිමත් කළ බව හෙතෙම කීය. චීනය උපායමාර්ගික හා දිගුකාලීන වශයෙන් චීන යුරෝපා සබඳතාව සලකන බවත්,  චීන රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී හා චීන ලක්ෂණවලින් යුතු නවීකරණය සාක්ෂාත් කිරීමේදී යුරෝපය වැදගත් හවුල්කරුවෙකු බවට පත්ව ඇති බවත්,  ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. චීන ප්‍රංශ සබඳතාව, චීන යුරෝපා සබඳතාව පොදුවේ සංවර්ධනය වනු ඇතැයි හෙතෙම අපේක්ෂා පළ කළේය.

වත්මන් ලෝකය අවුල්කාරී මෙන්ම විපර්යාස  කාලයකට ප්‍රවේශ වෙමින් පවතී. ලෝකයේ වැදගත් බලවේග වන චීනය හා යුරෝපය සිය හවුල්කාරී සබඳතාව, සංවාද හා සහයෝගිතා පැවැත්වීම අනුගමනය කරමින් උපායමාර්ගික සංවාද හා විශ්වාසය ශක්තිමත් කිරීම, එකඟතාවන් මත සහයෝගිතා පැවැත්වීම මගින් ද්විපාර්ශ්වික සබඳතාව ස්ථීර මෙන්ම යහපත් ලෙස වර්ධනය වීම ප්‍රවර්ධනය කළ යුතු ය. ඉන් ලෝක සාමය හා සංවර්ධන වෙනුවෙන් අඛණ්ඩව නව දායකත්වයන් දැරිය හැකි බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා එහිදී පැවසුවේ මෙම වසර චීන ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 60 වන සංවත්සරය බවයි. ප්‍රංශය හා චීනය අතර සහයෝගිතාවන්හී බොහෝ වැදගත් ප්‍රතිඵල ලබා ගෙන තිබේ.   ප්‍රධාන අභියෝගවලට වත්මන් ලෝකය මුහුණ දීමේදී චීනය සමග සහයෝගිතා ශක්තිමත් කිරීම, යුරෝප අනාගතයට ඉතා වැදගත් බව Emmanuel Macron මහතා කීය. අන්‍යෝන්‍ය විශ්වාසය හා මිතුදම ශක්තිමත් කරමින් චීනය සමග සැපයුම් දාමය හා වටිනාකම් දාමය පොදුවේ ආරක්ෂා කිරීම ප්‍රංශයේ අපේක්ෂාවයි. එමෙන්ම චීනය සමග දේශගුණ විපර්යාසය හා මුහුදු විවිධත්වය ඇතුළු ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට ප්‍රංශය කැමැත්තෙන් සිටින බව Emmanuel Macron මහතා පෙන්වා දුන්නේය. 

යුරෝපා සංගමයේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය එහිදී පැවසුවේ චීන යුරෝපා සංගම් රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 50 වැනි සංවත්සරය ලබන වසර බවයි. චීනය සමග යහපත් සබඳතාවක් පැවතීම යුරෝපා සංගමයට ඉතා වැදගත් බව ඇය කීවාය. චීනය සමග අන්‍යෝන්‍ය වශයෙන් ගරුකිරීම මත අන්‍යෝනය විශ්වාසය ශක්තිමත් කරමින් ජාත්‍යන්තර නීතිය පදනම් කර ගන්නා ජාත්‍යන්තර පටිපාටිය පොදුවේ ආරක්ෂා කිරීමට යුරෝපා සංගමය අපේක්ෂා කරයි. හරිත පරිවර්තන සංවර්ධනය අතින් චීනය ලබා ගත් ජයග්‍රහණය යුරෝපා සංගමය ඉහළින් අගය කරමින් චීනය සමග අවංක සංවාද හා සහයෝගිතා අඛණ්ඩව පැවැත්වීමට යුරෝපා සංගමය කැමැත්තෙන් සිටින බව ද ඇය අවධාරණය කළාය.

යුක්රේන අර්බුදය පිළිබඳව ෂී ජින් පිං මහතා එහිදී පැවසුවේ කඩිනමින් සටන් විරාමය ක්‍රියාත්මක කිරීම හා දේශපාලන ක්‍රමයෙන් අර්බුදය විසඳීම චීනය, ප්‍රංශය හා යුරෝපා සංගමයේ පොදු අපේක්ෂාව බවයි. චීනය දරන සාධාරණ මෙන්ම විෂය මූලික ස්ථාවරය හා අර්ථකාරී දායක්තවය ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමට ලක්ව තිබේ. විවිධ පාර්ශ්ව සමග සංවාද පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා කීය.

පලස්තීන ඊශ්‍රායල ප්‍රශ්නය සම්බන්ධයෙන් ෂී ජින් පිං මහතා පැවසුවේ කඩිනමින් සටන් විරාමය ක්‍රියාත්මක කිරීම හා මානව හිතවාදී සහාය සහතික කිරීම වත්මන් අත්‍යවශ්‍ය කාර්යයන් බවයි. යුරෝපය සමග වඩාත් මහා පරිමාණ, ඵලදායී ජාත්‍යන්තර සාම සමුළුව කඩිනමින් පැවැත්වීම, ද්වීරාජ්‍ය විසඳුම ක්‍රියාවට නැංවීමේ සැලැස්ම  මගින් පලස්තීන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම සාධාරණව විසඳීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම කීය.

මෙවර ත්‍රෛපාර්ශ්වික හමුව අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කරමින් සහයෝගතාවන්ට වැදගත් වන බව නායකයෝ තුන්දෙනා විශ්වාසය පළ කළහ. චීන යුරෝපා සබඳතාව යහපත් මෙන්ම ස්ථීර ලෙස වර්ධනය  කිරීමට අඛණ්ඩව උත්සාහ දැරීමට කැමැත්තෙන් සිටින බවද ඔවුන් සඳහන් කළහ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම