චීනයේ විදේශීය ක්‍රියාකාරිත්වය ජාත්‍යන්තරයේ ඇගයුමට
2024-05-02 16:30:23
Share with:

චීනය පිළිබඳ සිදු කළ ජාත්‍යන්තර මත විමසුමකට අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 80.2ක් විශ්වාස කරනුයේ චීනය ශ්‍රේෂ්ඨ සහ බලගතු රටක් වන බවයි. එමෙන්ම සියයට 70.3ක් චීනය සාර්ථක රටක් බව ප්‍රකාශ කර ඇති අතර චීනයේ ජයග්‍රහණ ද අගය කර ඇත. ප්‍රංශ ජාතිකයින් 1,513කගේ සහභාගීත්වයෙන් සිදු කළ මෙම සමීක්ෂණය චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රංශ සංචාරය නිමිත්තෙන් චීන මාධ්‍ය සමූහයේ CGTN සහ චීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලය එක්ව නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදන පර්යේෂණ ආයතනය සමග සිදු කර තිබේ. 

චීනයේ ජයග්‍රහණ ප්‍රංශ ජාතිකයින්ගේ පැසසුමට

චීනයේ උසස් සංවර්ධනය ප්‍රංශය‍ට මෙන්ම සමස්ත ලෝකයටම මහඟු අවස්ථාවකි. චීනයේ මෙම සංවර්ධනය සහ උසස් මට්ටමේ විවෘත කිරීම් තුළින් ලැබූ ජයග්‍රහණ අගය කරන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කර ඇත. ප්‍රංශයේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 91.5ක් චීනයේ ආර්ථික ශක්‍යතාව අගය කර ඇති අතර වයස අවුරුදු 18 ත් 24 ත් අතර අයගෙන් සියයට 95.9 ක් සහ ඉහළ ආදායම් ලබන අයගෙන් සියයට 97.2 ක් ද එලෙසම ප්‍රකාශ කර ඇත.

මේ අතර  සියයට 89.8 ක් චීනයේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වන බව විශ්වාස කරන අතර සියයට 72.7ක් චීනය ලෝක ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන බව කියාසිටී. ප්‍රතිචාර දැක්වූ සියයට 88.8ක් චීනය විද්‍යා හා තාක්‍ෂණයෙන් ශක්තිමත් බවත් එය ගෝලීය නවෝත්පාදනයට නව ජවයක් බවත් සඳහන් කර ඇත.

රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත වීමෙන් පසු ගෙවී ගිය වසර 60 තුළ චීන-ප්‍රංශ දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම 800 ගුණයකටත් වඩා වර්ධනය වී තිබේ. මේ වනවිට ප්‍රංශය චීනයේ තෙවන විශාලතම වෙළඳ සහකරු වන අතර චීනය ප්‍රංශයේ ආසියාවේ ඉහළම වෙළඳ සහකරු ද වේ.

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 86.2 ක් ප්‍රකාශ කළේ චීන ව්‍යවසායන්ට ජාත්‍යන්තර වෙළඳපොලේ සැලකිය යුතු බලපෑමක් කළ හැකි බවයි. ඔවුන්ගෙන් සියයට 66.2ක් චීනයේ ව්‍යාපාරික පරිසරය ආයෝජකයින්ට ආකර්ශනීය බවට ප්‍රතිචාර දක්වා ඇත. එමෙන්ම ගෝලීය කාර්මික හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ දී චීනය තීරණාත්මක සාධකයක් වන බව තවත් සියයට 56.7 ක් ප්‍රකාශ කර තිබේ.  ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 58.8 ක් චීන වෙළඳපොලේ විශාලත්වය ප්‍රංශ සමාගම් වෙත පුළුල් සංවර්ධන අවස්ථා ලබා දෙන බවට විශ්වාස කරයි. මීට අමතරව, චීනයේ ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපෘති සඳහා ප්‍රංශය සක්‍රීයව සම්බන්ධ විය යුතු බව වයස අවුරුදු 18-24 දක්වා වූ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 65.8ක් සඳහන් කර සිටී.

සමස්ත ලෝකයටම ආදර්ශයක් වන චීන-ප්‍රංශ සහයෝගිතාව

අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවකාශය චීන-ප්‍රංශ දෙපාර්ශ්වයට පවතී. ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා පවසනුයේ, දෙරටට එක්ව කිරීමට බොහෝ දෑ ඇති බවයි.

ප්‍රංශයේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරයක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස සහ ස්වාධීනත්වයක් මෙන්ම සම්ප්‍රදායක් සහිත මහා බලවතෙකු ලෙස චීනයේ විදේශ ප්‍රතිපත්තිය පිළිගෙන ඇත. ඉන් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 76.7ක් චීනය උපායමාර්ගිකව ස්වාධීන රටක් ලෙස ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට විශ්වාස කරයි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් වයස අවුරුදු 18-24 දක්වා වූ සියයට 75.3ක් පවසනුයේ චීනය වගකීමකින් කටයුතු කරන රටක් බවත් ගෝලීය මෙහෙයුම් ක්‍රියාවලියේදී චීනය වැඩි කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත් ය.

චීන-ප්‍රංශ සබඳතාව ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාවලින් එකක් බව මෙම සමීක්ෂණයේ දී සියයට 71.7 ක් විශ්වාස කරයි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 61.6ක් අනාගත චීන සංවර්ධනය පිළිබඳ යහපත් ආකල්පයක සිටින අතර දෙපාර්ශ්වයේ සහයෝගීතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරති. ජාත්‍යන්තර කටයුතුවලදී දෙරටේ සමීප සහයෝගීතාව ගෝලීය සාමය සහ සංවර්ධනය උදෙසා  වැදගත් වන බව ද සියයට 65.1 ක ප්‍රංශ ජනතාවක් ප්‍රකාශ කර සිටී.

යුරෝපා පාර්ලිමේන්තුව සඳහන් කරනුයේ, චීනය යුරෝපා සංගමයේ තරඟකරුවෙක් සහ ආයතන මට්මටේ ප්‍රතිවාදියෙක් බවයි. නමුත් ප්‍රංශ ප්‍රතිචාර දැක්වූවන් එයට එකඟ නොවේ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 18.5ක සුළු පිරිසක් පමණක් චීනය සහ ප්‍රංශය අතර වෙනස්කම් පොදු අවශ්‍යතා ඉක්මවා යන බව විශ්වාස කළ ද, චීනය සහ ප්‍රංශය අතර පොදු අවශ්‍යතා වෙනස්කම් අභිබවා යන බවට විශ්වාස කරන අනුපාතය එම ප්‍රමාණය මෙන් දෙගුණයකි.

ජනතාව අතර ඇති බැඳීමෙන් රටවල් අතර මිත්‍රත්වය පවතින අතර රාජ්‍යතාන්ත්‍රිකභාවයේ පදනම ද පවතිනුයේ ජනතාව තුළයි. චීන-ප්‍රංශ මානව හුවමාරු මේ වනවිට ක්‍රමිකව වර්ධනය වෙමින් තිබේ. මෙම සමීක්ෂණයේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 62.7ක් චීනයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වේ. එමෙන්ම චීනයේ ස්වභාවික දර්ශන, ආහාර පාන, ඉතිහාසය සහ සංස්කෘතිය ආකර්ශනීය බව සියයට 60 ඉක්මවූ ප්‍රතිශතයක් ප්‍රකාශ කර ඇත.

ප්‍රංශ ජන සංගණනයේ වයස් ව්‍යාප්තිය මත පදනම් වූ නියැදියකින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ. චීනයේ ජාතික ප්‍රතිරූපය, චීනයේ ජාතික ප්‍රතිපත්ති, චීන-ප්‍රංශ සබඳතා, චීන-යුරෝපීය සබඳතා පිළිබඳ අවබෝධය යනාදිය අන්තර්ගත කරමින් මෙම සමීක්ෂණය සාර්ථකව සිදු කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම