ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක සිටින බව ජනපති පවසයි
2024-05-01 15:21:06
Share with:

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වනවිට ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය කම්කරු දින පණිවිඩයෙන් ඔහු පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයෑමේ වගකීම සියලුදෙනාටම පැවරෙන බවයි.

සාමූහිකත්වයෙන් යුතුව වැඩකිරීම මගින් එය ජයගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කම්කරු දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. ආර්ථික අර්බුදය හමුවේ මෙරට කම්කරු ජනතාව එය නොසැළී විඳ දරාගැනීම ප්‍රශංසනීය බව ද එම පණිවිඩයේ දැක්වෙයි.

කම්කරු ජනතාව තවදුරටත් දිළිඳු ජනතාවක් ලෙස රඳවා ගැනීම රජයේ අරමුණ නොවන බැවින් අරගලයකින් තොරව ඔවුන්ගේ අයිතිවාසිකම් ඉටු කර දීම වෙනුවෙන් කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කම්කරු දින පණිවිඩයේ සඳහන් කර ඇත.

මේ අතර වැඩකරන ජනතාව ලෙයින්, දහදියෙන් සහ ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ ඉතිහාස සටහන් මත අප 138 වන ලෝක කම්කරු දිනය සමරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

නැවත ආර්ථිකය ගොඩනැගීමට වැඩකරන ජනතාව අඛණ්ඩව ලබාදුන් කැපවීම අගය කිරීම සඳහා කම්කරු දිනය යොදාගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය කම්කරු දින පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම