චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ ආර්ජන්ටිනාවේ විදේශ සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ ඇමතිනී Diana Mondino මහත්මිය අතර සාකච්ඡාවක් අද(01) බෙයිජිං හි දී පැවැත්විණ.
චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා එහිදී සඳහන් කළේ, චීනය වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම යන මූලධර්මය දැඩිව අනුගමනය කරන බවත්, ආර්ජන්ටිනාවේ ජනතාවගේ කැමැත්තට ගරු කරන බවත් ය. දුෂ්කරතා ජයගෙන එරටට ගැළපෙන සංවර්ධනයේ සහ පුනර්ජීවනයේ මාවතක් සොයා ගනු ඇතැයි හෙතෙම සිය විශ්වාසය ද පළ කළේය.
විවිධ ක්ෂේත්‍රවල දෙපාර්ශ්වයේ සහයෝගීතාවය ශක්තිමත් කරමින් නව විවෘත කිරීම් සඳහා මෙම වසරේ චීන-ආර්ජන්ටිනා විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වය පිහිටුවීමේ 10 වැනි සංවත්සරයේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Wang Yi මහතා එහිදී සඳහන් කර ඇත.
ආර්ජන්ටිනාවේ ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා චීනය සැමවිටම සහාය ලබා දෙන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
එහිදී අදහස් දක්වමින් Diana Mondino මහත්මිය පැවසුවේ, ආර්ජන්ටිනාවේ අභ්‍යන්තර දේශපාලන තත්ත්වය කෙසේ වෙනස් වුවද චීනය සම්බන්ධයෙන් එහි මිත්‍රශීලී ප්‍රතිපත්තිය වෙනස් නොවන බවයි. ආර්ජන්ටිනාව එකම චීනය යන මූලධර්මය පිළිගන්නා අතර, “එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ” යටතේ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ද බලාපොරොත්තු වේ.
මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් අනතුරුව විදේශ අමාත්‍යවරුන් දෙපළ එක්ව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ.