කර්මාන්ත සංවර්ධනය සහ රැකියා නියුක්තිය අතින් චීනය මෑතකාලීනව පෙන්නුම් කළ ප්‍රගතිය අතිශය ප්‍රශංසනීය යි
2024-04-30 17:10:50
Share with:

කර්මාන්ත සංවර්ධනය සහ රැකියා නියුක්තිය අතින් චීනය මෑතකාලීනව පෙන්නුම් කළ ප්‍රගතිය අතිශය ප්‍රශංසනීය බව ප්‍රවීණ ව්‍යවසායක සුරංග මනෝහර මහතා කියාසිටී. 2024 වසරේ රාජ්‍ය කාර්ය වාර්තාවෙන් ද චීනය අවධාරණය කර ඇත්තේ රැකියා නියුක්තිය ස්ථාවර කිරීමට සහ ආදායම වැඩි කිරීමට බහුවිධ පියවර ගන්නා බව යි. මේ සඳහා බදු, මූල්‍ය සහ වෙනත් ප්‍රතිපත්ති ශක්තිමත් කළ යුතු බවත් ගැමි කම්කරුවන්ට වැටුප් ගෙවීම් සහතික කිරීමේ අවශ්‍යතාවත් විශේෂයෙන් සඳහන් කර තිබීම කැපීපෙනේ.

කොවිඩ් වසංගතයත් සමග සමස්ත ගෝලීය ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්විය. එහිදී වැඩිම බලපෑම් එල්ල වූයේ ලෝකයේ ඉල්ලුම් හා සැපයුම් දාම කෙරෙහි ය. සංවර්ධිත රටවල පවා අතිවිශාල පිරිසක් රැකියා අහිමි වීමේ අවදානමට මුහුණ පෑහ. සංවර්ධනය වෙමින් පවතින රටවල කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පමණක් නොව මහා පරිමාණ කර්මාන්ත පවා බිඳවැටිණ. පශ්චාත් කොවිඩ් අවදියේ ආර්ථික ප්‍රකෘතිමත් භාවය ඉතා මන්දගාමී වීමට බලපෑවේ ද මෙම තත්ත්වය යි. එහෙත් චීනය මෙහිදී තම රටට ගැලපෙන අයුරින් ඉතා දූරදර්ශී ව ක්‍රියා කළ බව පිළිගත යුතු සත්‍යයක් වී ඇතැයි සුරංග මනෝහර මහතා පෙන්වාදෙයි.

චීනය කොවිඩ් වසංගතය හමුවේ දැඩි පාලන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූයේ ජනතා සුබසිද්ධිය ප්‍රමුඛස්ථානයේ තබමිනි. එහෙත් කර්මාන්ත අංශය බිඳ නොවැටී පවත්වා ගැනීමට චීන බලධාරීහු කැප වී ක්‍රියා කළහ. එම කාලය තුළ යම් පසුබෑමක් ඇතිවුව ද ඔවුහු එය යථාවත් කිරීමට නිසි පිළියම් යෙදූහ. මේ වසර වනවිට චීනයේ රැකියා නියුක්තිය ක්‍රමික ස්ථාවරභාවයක් අත්පත් කර ඇති බව මෑතක දී ඉදිරිපත් කෙරුණු සංඛ්‍යාලේඛනයකින් ද තහවුරු වී තිබේ. රාජ්‍ය ප්‍රතිපත්තිය අඛණ්ඩ ව පවත්වා ගනිමින් ඔවුන් මෙවරත් ඊට ඍජු අවධානය යොමු කර තිබීම අගය කළ යුතු කරුණකි.

තරුණයන් වෙනුවෙන් රැකියා ප්‍රවර්ධනය සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට ද චීන රජය මෑතකාලීනව පුළුල් වැඩසටහන් දියත් කර තිබේ. රැකියා වෙළඳපොළවල් සහ රැකියා සඳහා ‘බඳවා ගැනීමේ මාස’ ඊට ඇතුළත් ය. රැකියා නියුක්තිය යනු ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සංරචකයක් වන නිසාම චීනය ඊට මනා අවධානයක් යොමු කර ඇත. විරැකියාව යනු ජනතාවගේ ආදායම් අඩුවීම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන තත්ත්වයකි. එය සංවර්ධනයට හිතකර නොවේ. ගැමි කම්කරුවන්ට වැටුප් ගෙවීමේ තත්ත්වය සහතික කිරීම සඳහා චීන බලධාරීන් පියවර ගන්නේ ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධනය අඩාල වීම පිටුදැකීමට යි. චීනයේ මේ ප්‍රායෝගික කාර්යභාරය ස්ථාවර ආර්ථිකයකට මනා අඩිතාලමක් සකසන බව ද සුරංග මනෝහර මහතා කියාසිටී.

කර්මාන්ත සංවර්ධනය සහතික කිරීම සඳහා නවෝත්පාදන බිහිකිරීම මෙන්ම නවීන තාක්ෂණික ක්‍රමවේද පුළුල් කිරීමට චීනය පිවයර ගත්තේය. එය චීනයේ ක්‍රමික ආර්ථික ප්‍රකෘතිමත්භාවය තහවුරු කර තිබේ. චීනය ක්‍රියා කරන්නේ අනාගතවාදී දැක්මකිනි. ඔවුන්ගේ සැලසුම් විධිමත් ය. එසේම, චීනයේ සංවර්ධනයෙන් තොරව ගෝලීය සංවර්ධනය සාක්ෂාත් කළ නොහැකිය. ගෝලීය ආර්ථික ඉලක්ක මෙන්ම එක්සත් ජාතීන්ගේ 2030 සංවර්ධන න්‍යාය පත්‍රය උදෙසා ද චීනය සිය අගනා දායකත්වය තිළිණ කරමින් සිටී. කුමන බාධක, අභියෝග එල්ල වුවත් චීනය තම තිරසර ගමන නතර නොකරනු ඇතැයි ද  ප්‍රවීණ ව්‍යවසායක සුරංග මනෝහර මහතා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම