‘ඔබේ සිහිනය ඔබ ම ගොඩනැගිය යුතු’බව ලොවට කියන චීනය
2024-04-26 18:14:57
Share with:

2024 වසරේ නවීකරණය සහතික කළ කාර්මික පද්ධතිය ගොඩනැංවීම තවදුරටත් තහවුරු කරන බවත්, ‍නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීම කඩිනම් කරන බවත් චීනය වසර ආරම්භයේ ම සිය රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් කියාසිටියේය.

එය චීනය වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ ප්‍රතිපත්තියකි. මෙහිදී නවීන නිෂ්පාදන සේවා බලගන්වන බවත්, නව බලශක්ති මෝටර් රථ වැනි කැපීපෙනෙන කර්මාන්ත පුළුල් කරන බවත් චීනය ලොව හමුවේ පැවසීය. තම අරමුණ එසේ ඉතා පැහැදිලි ව පවසා තිබීය දීත් ඇතැම් බටහිර රටවල් චීනයට එල්ල කරන පදනම් විරහිත චෝදනා කිසිසේත් සාධාරණ නොවන බව ප්‍රවීණ මාධ්‍යවේදී රොෂාන් රුබේරු මහතා පෙන්වාදෙයි.

චීනයේ සංවර්ධනය ඉවසා දරා ගත නොහැකිව වරින්වර විවිධ චෝදනා එල්ල කරන පිරිස මෙවර ඉස්මතු කර ඇත්තේ ‘චීන නිපැයුම්වල අධිධාරිතාවක් පවතී’ ය යන සාවද්‍ය මතයකි. මෙම ප්‍රකාශයට බලපා ඇති පසුබිම නිසි අයුරින් විමසා බැලිය යුතු වේ. වර්තමාන ලෝකය මුහුණ පා සිටින ඉතා සංකීර්ණම අභියෝගය වන්නේ දේශගුණ විපර්යාසය යි. මේ නිසා හැකි ඉක්මණින් ගෝලීය හරිත සංවර්ධන ප්‍රයත්න සවිබල ගැන්විය යුතුව තිබේ. චීනය මෙහිදී සමස්ත මිනිස් ප්‍රජාවේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් තම කාර්යභාරය ඉටු කිරීමට පෙරට ආ බව සත්‍යයකි. තාක්ෂණික අතින් මනා විභවතා හා ශක්‍යතා සහිත රාජ්‍යයක් හැටියට චීනය නව තාක්ෂණික ක්‍රමවේද හා හරිත තාක්ෂණික නිපැයුම් ලොවට හඳුන්වා දීමට ක්‍රියා කළේය. විශේෂයෙන් විදුලි මෝටර් රථ හා සූර්ය පැනල මේ අතර ඉදිරියෙන් ම පවතී. මෙම කාලීන තාක්ෂණයන් සහ නිපැයුම් සමස්ත ලෝකයේම ආකර්ෂණය දිනාගත් බව ද නොරහසකි. අප්‍රිකානු සහ ආසියානු කලාපවල රටවල් රැසක් චීනයේ හරිත තාක්ෂණික ක්‍රමවේද  විවිධ අංශ සඳහා යොදාගැනීම ආරම්භ කළේ ද චීන විශේෂඥයන්ගේ මගපෙන්වීම් ඔස්සේ යි. මේ අතර චීනයේ විදුලි මෝටර් රථ අලෙවිය ලොව පළමු තැනට පත්වෙමින් එහි වාර්තාගත සාර්ථකත්වයක් සටහන් කළේය. චීනයට එරෙහි ‘අධිධාරිතා’ චෝදනාව නිර්මාණය වන්නේ මෙවන් පසුබිමක් තුළ යි.

චීනයේ සාර්ථකත්වය සහ හරිත බලශක්ති පරිවර්තනයට දක්වන සක්‍රිය දායකත්වය ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉහළ පිළිගැනීමට ලක්වීම දරාගත නොහැකි පාර්ශ්ව මේ චෝදනා එල්ල කිරීමෙන් අපේක්ෂා කරන්නේ ඔවුන් කියන ආකාරයට වෙළඳපොළ අයිතිවාසිකම් තහවුරු කිරීමක් සඳහා නොවේ. ඔවුන්ගේ අරමුණ චීනයේ ගමන අවහිර කිරීම පමණක් වන බව ද රුබේරු මහතා කියාසිටී.

සෑමවිටම වෙළඳපොළ මූලධර්ම සහ සාධාරණ තරගකාරීත්වය අනුගමනය කරන චීනයට වෙනත් රටක නිෂ්පාදන නතර කිරීමේ අවශ්‍යතාවක් නැත. කාර්මික දාමය අධිගුණාත්මක ලෙස සංවර්ධනය කරමින් කර්මාන්ත සංවර්ධනය තවදුරටත් වැඩිදියුණු කිරීම චීනයේ දිගුකාලීන ප්‍රතිපත්තිමය පියවරකි.

චීනයේ ලොව දිනූ චීන විදුලි මෝටර් රථ සන්නාමය BYD හෙවත් BUILD YOUR DREAMS යන්නයි. එහි අරුත ‘ඔබේ සිහිනය ගොඩනගන්න’ යන්නයි. තම සිහිනය ගොඩ නගා ගත යුත්තේ තමන් විසින් ම ය. අන් අය ඔබ වෙනුවෙන් සිහින නොදකිනු ඇත. එසේම, සාර්ථක අයෙකුට අකුල් හෙළීමෙන් තමන්ට අත්වන සංවර්ධනයක් නැත.  චීනය තමන්ට අස්ථාන දෝෂාරෝපණ නගන්නන්ට දෙන පණිවුඩය එය යි.

තමාට ගැලපෙන සංවර්ධන මාවතක් ඔස්සේ සංවර්ධනය ගවේෂණය කළ යුතු බවත්, එහිදී අන්‍යයන්ට බාධා නොකළ යුතු බවත් ලොවට යළි යළිත් ප්‍රත්‍යක්ෂ කරවන චීනයේ ඉදිරි ගමන කිසිදු බාධාවකින් අවහිර කළ නොහැකි වනු ඇතැයි ද ප්‍රවීණ මාධ්‍යවේදී රොෂාන් රුබේරු මහතා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම