ශ්‍රී ලංකාවේ ප්‍රගතිය උදෙසා ඕනෑම මොහොතක පෙනී සිටින බව උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරමින් ඉරාන ජනපති පවසයි
2024-04-25 18:38:28
Share with:

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(24) ජනතා අයිතියට පත් කෙරිණ.

ඉරානය සමඟ පෙරට වඩා සමීප සබඳතා ඇති කරගෙන ඉදිරියට යන බව වික්‍රමසිංහ මහතා උත්සව සභාව අමතමින් පැවසීය.

ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම, විශේෂඥතාවය හා අත්දැකීම් බෙදා ගැනීමට සූදානම් බවත් දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඕනෑම මොහොතක පෙනී සිටින බවත් ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මෙරට ජාතික විදුලි පද්ධතියට උමා ඔය ව්‍යාපෘතියෙන් එක් කිරීමට නියමිත විදුලි ධාරිතාව මෙගාවොට් 120කි. එම ව්‍යාපෘතිය සඳහා වැය වූ සමස්ත මුදල ඇ.ඩො. මිලියන 514ක් වන අතර ඉරාන රජය ඩොලර් මිලියන 50ක මුදලක් ලබාදීමෙන් පසුව ඇතිවූ සම්බාධක ගැටලු හේතුවෙන් ව්‍යාපෘතියේ පිරිවැය දරමින් එය මේ දක්වා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කර තිබේ.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පැවසීය. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය, මාධ්‍ය, සංචාරක, සමුපකාර, පුස්තකාල, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්‍ෂණික සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ආවරණය කෙරෙන බව ජනාධිපති කාර්යාලය කියා සිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම