පලස්තීන ජනතාවගේ අනාගතය පිළිබඳ නිෂේධ බලයක් කිසිදු බාහිර පාර්ශ්වයකට හිමි නොවේ
2024-04-21 16:53:46
Share with:

පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්ව අයැදුමට එරෙහිව ඇමරිකාව නිෂේධ බලය භාවිත කිරීම විවිධ පාර්ශ්වයන්ගේ දැඩි විචේචනයට ලක්ව තිබේ. චීනය, ඊජිප්තුව සහ අයර්ලන්තය ඇතුළු රටවල් රැසක් ඒ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇත. ගල්ෆ් සහයෝගිතා කවුන්සලය නිවේදනයක් පළ කරමින් පැවසුවේ, ඇමරිකාවේ මෙම ක්‍රියාව හේතුවෙන් මැදපෙරදිග කලාපයේ යුක්තිය හා සාමය වෙනුවෙන් වන ප්‍රයත්න පසුබෑමට ලක්ව ඇති බවයි.

ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකත්වය හිමි ඇමරිකාවේ අත්තනෝමතික විරෝධය පලස්තීන ජනතාවගේ වසර ගණනක සිහිනය බිඳ දමා ඇත. පලස්තීන-ඊශ්‍රායල අර්බුදයේ දී ඇමරිකාව අනුගමනය කරන දෙබිඩි පිළිවෙත හා කුහකත්වය ද ඉන් මනාව පිළිබිඹු වී තිබේ. ගාසා තීරයේ ජනතාව වෙනුවෙන් සිය වගකීම භාර නොගන්නා ඇමරිකාව පලස්තීන ජනතාව යුක්ති සහගත ඉල්ලීමක් ඉදිරිපත් කරන විට ද අහේතුක ලෙස බාධා එල්ල කරයි. ඊශ්‍රායලයට පක්ෂපාතී ඇමරිකානු ප්‍රතිපත්තිය පලස්තීන-ඊශ්‍රායල සාම ක්‍රියාවලියට පවතින විශාලතම බාධාව බව ද මින් පැහැදිලි වී ඇත.

ගාසා තීරයට ප්‍රමාණවත් සහායක් ලබා නොදෙන ඇමරිකාව ඊශ්‍රායලයට අඛණ්ඩව අවිආයුධ සපයමින් සිටී. එසේම, ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා ගණනාවක් ඇමරිකාව විසින් නිෂේධ කරනු ලැබීය. එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නියෝජිත Greenfield මහත්මිය පවසන්නේ පලස්තීනය නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වීම, පලස්තීන-ඊශ්‍රායල ගැටුම විසඳන ද්විරජ්‍ය විසඳුම් ක්‍රියාවලියට උපකාර නොවන බවයි. එහෙත් ඇමරිකාවේ මෙම ක්‍රියා එම විසඳුමට උපකාරී වනු ඇද්ද?

ඇමරිකාව, ජාත්‍යන්තර හා කලාපීය පටිපාටිය විනාශ කරන මෙන්ම අවුල් ඇති කරන පාර්ශ්වයක් බව ලෝක සාමයට එරෙහි මෙම ක්‍රියාමාර්ග තුළින් මනාව සනාථ වී තිබේ. කෙසේවෙතත්, පලස්තීන ජනතාවගේ අනාගත සුරක්ෂිත භාවය පිළිබඳ නිෂේධ බලයක් කිසිදු බාහිර පාර්ශ්වයකට හිමි නොවන බව ද කිව යුතුම ය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම