ගෝලීය හරිත සංවර්ධනය උදෙසා චීනයේ දායකත්වයට 90% කට ආසන්න පිරිසකගෙන් පැසසුම්
2024-04-21 14:52:40
Share with:

චීනයේ නව බලශක්ති වාහන, ලිතියම් බැටරි සහ ප්‍රකාශ වෝල්ටීයතා නිෂ්පාදන ගෝලීය වෙළඳපොළ පුරා පැතිරී ඇති බැවින්, චීනයේ නව බලශක්ති නිෂ්පාදනවල "අධිධාරිතාව"ක් පවතින බවට අදහසක් මෑතක දී ඉස්මතු විය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන්  CGTN විසින් පවත්වන ලද ගෝලීය ජනමත විමසුමකට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 88.62% ක පිරිසක් ලෝක ආර්ථිකයට සහ ගෝලීය හරිත සංවර්ධනයට චීනයේ නව බලශක්ති කර්මාන්තයේ දායකත්වය අගය කරති.

මෙම ජනමත විමසුමේ දී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 84.86% ක පිරිසක්, ගෝලීය වෙළෙඳපොළ තුළ නව බලශක්ති තාක්ෂණික ක්‍රමවේද සහ නිෂ්පාදන සඳහා පුළුල් ඉල්ලුමක් සහ විභවයක් තවමත් පවතින බවට විශ්වාසය පළ කර ඇත. නිෂ්පාදන ධාරිතාව සැපයුම සහ ඉල්ලුම මත තීරණය වන බවත්, ඉල්ලුමට වඩා මධ්‍යස්ථ සැපයුමක් තිබීම පූර්ණ තරගකාරිත්වයට සහ යෝග්‍යතාව සහිත අයගේ පැවැත්මට හිතකර බවත් 86.05% කගේ අදහසයි.

තාක්ෂණික නවෝත්පාදන වේගවත් කිරීම සහ වෙළඳපොළ තරගකාරීත්වය තීව්‍ර කිරීම, නව බලශක්ති ක්ෂේත්‍රයේ ශක්තිමත් හා ශීඝ්‍ර සංවර්ධනය සඳහා වන යතුර බව, මත විමසුමට එක් වූ 85.71% ක පිරිසක් පෙන්වා දෙති.  මීට අමතරව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 88.46% ක් විශ්වාස කරන්නේ ගෝලීයකරණ යුගයේ දී විවිධ රටවලට නොයෙක් ආකාරයේ සංසන්දනාත්මක ප්‍රතිලාභ පවතින බවයි. එනිසා ධාරිතාව පිළිබඳ ගැටලු විසඳීම සඳහා වන ප්‍රශස්තම ක්‍රමවේදය වන්නේ රටවල් අතර සහයෝගීතා ශක්තිමත් කිරීම බව ද ඔවුහු පවසති.

නව බලශක්ති කර්මාන්තයේ දී චීනය මෙම සාර්ථකත්වය ලබා ඇත්තේ රජයේ සහනාධාර මගින් නොව, සැබෑ නිපුණතා සහ පූර්ණ වෙළඳපොළ තරගයක් ඔස්සේ බව කිවයුතුම ය. ජනමත සමීක්ෂණයේ දී, ගෝලීය වශයෙන් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 88.62% ක පිරිසක් ලොව හරිත සංවර්ධනය සඳහා චීනයේ ධනාත්මක දායකත්වය ඉහළින් අගය කරති.  එසේම, මීට එක් වූ 77.41% ක් විශ්වාස කරන්නේ, නව බලශක්ති කර්මාන්තය ආරක්ෂණවාදය සමග බද්ධ කිරීමෙන්, දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා විවිධ රටවල් දරන ඒකාබද්ධ ප්‍රයත්න දුර්වල වනු ඇති බවයි. මීට අමතරව, ගෝලීය නව බලශක්ති ක්ෂේත්‍රයේ ශක්තිමත් සංවර්ධනය, සාධාරණත්වය සහ ජාත්‍යන්තර නීති පටිපාටිය මත පදනම් විය යුතු අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා තරයේ සැලකිය යුතු බව 91.93% ක පිරිසකගේ අදහස වී තිබේ.

මත විමසුමට එක් වූ තවත් 83.87% ක් පවසන්නේ නිෂ්පාදන ධාරිතාව පිළිබඳ ප්‍රශ්නය ආර්ථිකමය ගැටලුවක් වන අතර, එය දේශපාලනයට සම්බන්ධ නොකළ යුතු බවයි. එසේම, නිෂ්පාදන ධාරිතාව දේශපාලනීකරණය සහ ආරක්ෂණයට හසුකිරීම ආර්ථික නීතිවලට ද පටහැනි වන අතර, ලෝක ආර්ථික ප්‍රකෘතිමත්භාවයට ද හිතකර නොවන බව ඔවුන්ගේ අදහසයි.

CGTN නාලිකාව විසින් ප්‍රකාශයට පත්කෙරුණු මෙම ගෝලීය ජනමත විමසුම ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු වේදිකා ඔස්සේ පවත්වනු ලැබීය. පැය 24 ක් තුළ පුද්ගලයන් 5,470 දෙනෙකුගෙන් ඊට ප්‍රතිචාර හිමි වී ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම