චීන - ගැබෝන් සබඳතාවන් හි 50 වැනි සංවත්සරය නිමිත්තෙන් දෙරට නායකයෝ සුබ පැතුම් හුවමාරු කර ගනිති
2024-04-20 15:48:12
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ගැබොන් ජනරජයේ ජනාධිපති Brice Clotaire Oligui Nguema මහතා දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් හි 50 වැනි සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් හුවමාරු කර ගනිති. එම පණිවුඩ ඊයේ (19) යොමුකෙරිණ.

චීනය සහ ගැබොන් ජනරජයේ අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය කාලයත් සමඟ ශක්තිමත් වී ඇති බව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ගෙවී ගිය වසර 50 තුළ, ජාත්‍යන්තර තත්ත්වයෙහි වෙනස්වීම් නොතකා, දෙරට සෑම විටම එකිනෙකාට සමානාත්මතාවයෙන් සහ සහයෝගයෙන් සැලකූ බවත්,  ද්විපාර්ශ්වික සබඳතා නිරන්තරයෙන් වැඩිදියුණු කර ඇති බවත් හෙතෙම කියාසිටී. එමගින් දෙරටට දැනෙන ප්‍රතිලාභ අත් වූ බව ද චීන ජනාධිපතිවරයා පැවසීය.

චීනය සහ ගැබොන් ජනරජය අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 50 වැනි සංවත්සරය නව ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස ගෙන Nguema මහතා සමග එක්ව ක්‍රියා කිරීමට තමා සූදානම් බව ද හෙතෙම කියාසිටියේය. ද්විපාර්ශ්වික ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කරමින්, චීන-ගැබොන් විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය සහතික කිරීමටත්, ඉහළ මට්ටමේ චීන-අප්‍රිකානු ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීමටත් තමා පියවර ගන්නා බව ද ෂී ජින් පිං මහතා පැවසීය.

වසර 50කට පෙර ගැබොන් ජනරජය සහ චීනය රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට දෙරට සෑම විටම අන්‍යෝන්‍ය විශ්වාසයකින් හා අවංකභාවයකින් එකිනෙකාට සලකන බව එරට ජනාධිපති Brice Clotaire Oligui Nguema මහතාගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙයි. ද්විපාර්ශ්වික සබඳතාවන් හි ස්ථාවර සංවර්ධනයක් පවතින අතර, ආර්ථික, සමාජයීය, හමුදා සහ අනෙකුත් ක්ෂේත්‍රයන් හි මනා සහයෝගිතාවකින් යුතුව දෙරට කටයුතු කරන බවත් ඔහු කියාසිටියේය.

ගැබොන් ජනරජය එකම චීන මූලධර්මය එක හෙළා අනුගමනය කරන බවත්, තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් ලෙස සලකන බවත් Nguema මහතා අවධාරණය කරයි.

ගැබොන්-චීන  උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය තහවුරු කිරීම සඳහා චීනය සමග එක්ව ක්‍රියා කිරීමට සූදානම් බව ද ඔහු තම පණිවුඩයෙන් කියාසිටී.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම