එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට පලස්තීනය ඉදිරිපත් කළ යෝජනාවට ඇමරිකාව එරෙහි වෙයි
2024-04-19 10:23:14
Share with:

එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට පලස්තීනය ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ආරක්ෂක මණ්ඩල ඡන්ද විමසීමේ දී ඇමරිකාව ඊට එරෙහිව ඡන්දය භාවිත කරයි. ඊයේ(18) පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව  ඡන්ද 12ක් ලැබුණු අතර ඡන්දය දීමෙන් වැළකී සිටි ගණන 2කි. එක් ඡන්දයක් යෝජනාවට විරුද්ධ භාවිත කෙරිණ. ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වන යෝජනාවක් සම්මතවීමට අවම වශයෙන් ඡන්ද 9ක් අවශ්‍ය වන අතර නිෂේධ බලය හිමි ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව හෝ චීනය සිය නිෂේධ බලය භාවිත නොකිරීමද අත්‍යවශ්‍ය සාධකයකි. මෙවර යෝජනාවට පක්ෂව ඡන්ද 12ක් ලැබුණද ඇමරිකාව ඊ‍ට එරෙහිව සිය නිෂේධ බලය භාවිත කළේය. එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට පලස්තීනය 2011 වසරේදී දැරූ ප්‍රථම උත්සාහයද ව්‍යර්ථ විය. එහිදී 15 දෙනෙකුගෙන් සමන්විත ආරක්ෂක මණ්ඩලයේ අවම සහයෝගය ලබා ගැනීමට එම යෝජනාව අසමත් විය. එම මුල් අසාර්ථක වීමෙන් පසු 2012 වසරේදී එකසත් ජාතීන්ගේ “පූර්ණ නිරීක්ෂණ” තත්ත්වය ලබා ගැනීමට පලස්තීනය සමත් විය.

මෙවර යෝජනාව ඉදිරිපත් කෙ‍රුණු අවස්ථාවේ අදහස් දැක්වූ පලස්තීන ජනාධිපතිවරයා‍ ගේ විශේෂ නියෝජිත Ziad Abu Amr සඳහන් කළේ මෙම යෝජනාවෙන් පලස්තීන ජනතාවට ස්වාධීන රාජ්‍යයක් තුළ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අපේක්ෂාවක් ගෙන දෙන බවයි. කෙසේ වෙතත් ඇමරිකාව සිය නිෂේධ බලය භාවිත කිරීම‍ හේතුවෙන් එය සම්මත කර ගැනීමට නොහැකි විය. ඇමරිකාවේ එම පියවර පලස්තීනය විසින් දැඩි ලෙස හෙළාදැක තිබේ. එය අසාධාරණ, සදාචාරාත්මක නොවන මෙන් ම ජාත්‍යන්තර ප්‍රජාවේ අපේක්ෂාවන් බිඳ දැමූ පියවරක් ලෙසට පලස්තීන සභාපතිත්වය විසින් හඳුන්වා දී තිබේ. මෙම එදිරිවාදී ස්වභාවයෙන් ඇමරිකා විදේශ ප්‍රතිපත්තියේ දෙබිඩි බව නිරාවරණය වන බවද පලස්තීනය සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම