නවීන තාක්ෂණයෙන් ජන ජීවිතය බලගන්වන චීනයේ ඉදිරි ගමන සුබදායී වනු ඇත
2024-04-18 09:16:40
Share with:

2024 වසරේ දී තම රට සතු ඉහළ මට්ටමේ ස්වයං-ස්වාධීනත්වය සහ ස්වයං-දියුණුව සහතික කොට ස්වයං-නිර්මාණශීලීත්ව හැකියාව අංගසම්පූර්ණ ලෙස ඉහළ නංවා ගත යුතු බව චීනයේ මේ වසරේ රාජ්‍ය කාර්ය වාර්තාවේ අන්තර්ගත කරුණකි. කේන්ද්‍රීය තාක්ෂණයන් ප්‍රවර්ධනය කරමින් එම ක්ෂේත්‍රයේ පර්යේෂණ ශක්තිමත් කළ යුතු බව ද එහිදී අවධාරණය කෙරිණ. චීනය ගෝලීය වශයෙන් චීනය තම ශක්තිය හා විභවතා තහවුරු කරගැනීමේ දී බලපාන ප්‍රධාන සාධකයක් ලෙස එය පෙන්වා දිය හැකි බව ප්‍රවීණ දේශපාලන විචාරක ජයන්ත හේවගේ මහතා කියාසිටී. 

චීනය, තාක්ෂණය මගින් මිනිස් ජීවිත පහසු කිරීම කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමුකරන රටකි. කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඔවුන් හඳුන්වා දුන් නවීන තාක්ෂණික උපාංග පමණක් වුව ද මේ කරුණ සනාථ කරවයි. එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ඔවුන් හඳුන්වා දුන් උපකරණ හා නවීන ක්‍රමවේද රැසකි. ආබාධිත වූවන් වෙනුවෙන් හඳුන්වා දුන් විශේෂ සංවේදක උපකරණ, ඔවුන්ට එහා මෙහා ගමන් කිරීමට සකසන ලද නවීන තාක්ෂණයෙන් යුත් රෝදපුටු ඇතුළු නිදර්ශන ගණනාවක් මෙහිදී දැක්විය හැකිය. මේ සියල්ලෙන්ම ඔවුන් අපේක්ෂා කළේ මානව ප්‍රජාවගේ යහපැවැත්ම යි. සියලුදෙනාට සම අයිතීන් හිමිවන සමාජ ඒකාබද්ධතාව යි. විශේෂයෙන් ම සෞඛ්‍ය හා වැඩිහිටි සත්කාර ඇතුළු ජනතා ජීවනෝපායන්ට අදාළ විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ සංවර්ධනය කළ යුතු බව රාජ්‍ය කාර්ය වාර්තාවට එක් කර තිබීම අතිශය ප්‍රශංසනීය බව ද හේවගේ මහතා පෙන්වා දෙයි.

සිය තාක්ෂණික පර්යේෂණ ශක්තිමත් කරමින් හරිත සංවර්ධනය පුළුල් කිරීමට ද චීනය අඛණ්ඩව පියවර ගනිමින් සිටී. සමස්ත ලෝකයේ පැවැත්මට ඉන් එල්ල කෙරෙන සාධනීය බලපෑම සුළුපටු නොවේ. චීනය විදුලි වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයා බවට පත්ව ඇත. එසේම, විකල්ප බලශක්ති උත්පාදනයට මෙන්ම භාවිතය දිරිගැන්වීමට චීනය දරන වෑයම ඉතා උසස් මට්ටමක පවතී. වෙනත් රටවලට ද මේ උපායමාර්ග හඳුන්වා දීමට චීනය ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා තිබේ. මේ වසරේත් මෙම වැඩසටහන් පුළුල් කිරීමේ අරමුණින් චීනය ක්‍රියා කරනු ඇති බවට ජයන්ත හේවගේ මහතා විශ්වාසය පළ කරයි. ජාත්‍යන්තර විද්‍යා සහ තාක්ෂණික හුවමාරු හා සහයෝගිතා පුළුල් කළ යුතු බව මෙවරත් රාජ්‍ය කාර්ය වාර්තාවේ අන්තර්ගත වන්නේ එහෙයිනි.

චීනය තම සංවර්ධනය සාක්ෂාත් කරගන්නා අතරම සෙසු රටවලට ද සංවර්ධන මාර්ග ගවේෂණය කිරීමට නව දිශානති දක්වන රාජ්‍යයකි. සැලසුම් සහගත භාවයත්, විධිමත් ක්‍රියාකාරීත්වයත් චීනයේ අනාගත ජයග්‍රහණ සහතික කරනු ඇතැයි ද ප්‍රවීණ දේශපාලන විචාරක ජයන්ත හේවගේ මහතා ප්‍රකාශ කරයි. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම