චීන - ජර්මානු සබඳතා නව මානයකට
2024-04-17 17:44:41
Share with:

ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා පසුගිය දා සිදු කළ චීන සංචාරය බටහිර මාධ්‍යයන් හි අවධානයට ලක්ව තිබේ. එම තෙදින සංචාරයේ දී චාන්සලර්වරයා සමග Siemens, BMW, Mercedes-Benz ඇතුළු ප්‍රබල ජර්මානු ව්‍යවසායන්වල ප්‍රධානීන් චීනයේ නගර 3 කට ගොස්  නවෝත්පාදන සහයෝගිතා වෙනුවෙන් චීන පාර්ශ්වය සමග සාකච්ඡා පවත්වා ඇත. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමග පැවති සාකච්ඡා Olaf Scholz චාන්සලර්වරයාගේ සංචාරයේ වඩාත් වැදගත් අවස්ථාවක් වශයෙන් සැලකේ. එම හමුවේ දී නායක දෙපළ ද්විපාර්ශ්වික සබඳතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට කැමැත්ත පළ කර තිබේ. චීනය හා ජර්මනිය අතර කිසිදු ගැටුමක් නැති බවත්, කිසිවිටෙක ආරක්ෂක තර්ජනයක් එල්ල නොවන බවත්, සහයෝගිතා තුළින් ද්විපාර්ශ්වික සම්බන්ධතාවට අවදානමක් නොව රුකුලක් සැපයෙන බවත්, චීන - ජර්මානු නායකයෝ කියාසිටිති.

චීනය හා ජර්මනිය පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයක් ස්ථාපිත කර දශකයක් ගෙවී ගොස් ඇත. මෑත වසරවල ජර්මනිය මෙන්ම යුරෝපය තුළ“චීන තර්ජනය”ක් පිළිබඳ පදනම් විරහිත අදහසක් මතු ව තිබේ. ජර්මනිය චීන ආර්ථිකයෙන් හැකි තරම් දුරස්ථ විය යුතු බවට ද ඇතැම්හු හඬ නගති. කෙසේ වුව ද ජර්මානු රජය මෙන් ම එරට ව්‍යවසායන් ද චීනය සමග තිරසර සම්බන්ධතා පවත්වාගෙන යාමේ ස්ථාවරයේ නියැලී සිටින බව මෙවර ජර්මානු චාන්සලර්වරයාගේ චීන සංචාරය මගින් මනාව පැහැදිලි වේ. තම ආර්ථික වර්ධනය පහළ යන තත්ත්වයෙන් මුදාගැනීමේ දී මෙන්ම යුක්රේන අර්බුදය නිරාකරණය කිරීමේ දීත් ජර්මනියට චීනයෙන් සහාය ලබාගැනීම අවශ්‍ය බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

 දෙරට අතර වඩාත් පුළුල් සහයෝගිතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් චීනය හා ජර්මනිය විශ්වාසයෙන් පසුවෙයි. යන්ත්‍රෝපකරණ හා මෝටර් රථ නිෂ්පාදනය වැනි සාම්ප්‍රදායික ක්ෂේත්‍ර හැරුණු විට ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධිය ඇතුළු නැගී එන නව ක්ෂේත්‍රවල ද දෙරට අතර විශාල සහයෝගිතා විභවයක් තිබෙන බව මෙවර  නායක හමුවේ දී පෙන්වා දෙනු ලැබිණ. යහපත් චීන-ජර්මානු සම්බන්ධතාව දෙරටට පමණක් නොව යු‍රෝපය ඇතුළු සමස්ත ලෝකයට ද යහපතක් ගෙන දෙනු නියත ය.

ගුවන් විදුලිය
20240430අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම