ජනපති නුවරඑළියේ නිරීක්ෂණ චාරිකාවක
2024-04-17 16:59:08
Share with:

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිදෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.

ජනාධිපතිවරයා ඊයේ (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයකට එක්විය.

හෙතෙම ‘පිකෝ ට්‍රේල්’ (Peko Trail) මංපෙත ඔස්සේ පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයකි. “පිකෝ ට්‍රේල්” යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300ක පමණ කඳු නැගීමේ මාර්ගයකි. එය ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැලකේ. හෝර්ටන් තැන්න, හපුතලේ සහ ඇල්ල ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි මෙම මාර්ගය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන ලද්දකි.

ජනාධිපතිවරයා මෙම චාරිකාවේ දී කෝට් ලොජ් වතුයායේ සේවයේ නිරත කම්කරු ජනතාවගේ තොරතුරු විමසමින් සුහද කතාබහක නිරත විය. වික්‍රමසිංහ මහතා ඔවුන්ට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් තම සුබපැතුම් පිළිගැන්වීය. එම වතු ජනතාව මුහුණ දී සිටින අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා ඔවුන්ගේ නිවාස ගැටළුව කෙරෙහි ද විශේෂ අවධානයක් යොමුකළේය.

ගුවන් විදුලිය
20240430අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම