ඉරාන ඊශ්‍රායල ගැටුම් උත්සන්න වීම වැළැක්විය යුතු බව චීනය පවසයි
2024-04-14 16:09:20
Share with:

ඊශ්‍රායල භූමිය‍ට එල්ලවූ ඉරාන හමුදා ප්‍රහාරයෙන් පසු ප්‍රකාශයක් සිදු කරන චීනය සන්සුන්ව හා සංයමයෙන් ක්‍රියා කරන ලෙස  අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරයි. තත්ත්වය තවදුරටත් උත්සන්න කිරීමෙන් වැළකිය යුතු බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා අද (14) පැවසීය.

ඉරාන හමුදාව ඊශ්‍රායලයට එරෙහිව බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

වත්මන් තත්ත්වය කෙරෙහි චීනය දැඩි කනස්සල්ල පළ කරන අතර තවදුරටත් එය උත්සන්න වීම වැළැක්වීම සඳහා සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව එම  ප්‍රකාශකයා පැවසීය.

මෙම තත්ත්වය ගාසා ගැටුමේ නවතම කාන්දුවක් ලෙස‍ටද හෙතෙම හැඳින්වීය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 2728 යෝජනාව ක්‍රියාවට නැංවීම තවදුරටත් ප්‍රමාද නොකළ යුතු අතර වහාම ගැටුම් නතර කිරීමේ අවශ්‍යතාවද හෙතෙම පෙන්වා දුන්නේය.

කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන්, විශේෂයෙන් අදාළ බලපෑම් සහිත රටවලින් ඉල්ල සිටින බවද චීන ‍විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම