චීන-සුරිනාම් ජනපතිවරුන් අතර සාකච්ඡාවක් බෙයිජිං අගනුවර දී
2024-04-12 18:12:24
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, රාජ්‍ය සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින  සුරිනාම් ජනරජයේ ජනාධිපති Chan Santokhi මහතා සමඟ සාකච්ඡා පවත්වයි. බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී අද (12) පස්වරු‍වේ එම සාකච්ඡාව  පැවැත්විණ.

චීන මහජන සමූහාණ්ඩුව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගත් මෙන්ම, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ සඳහා සහයෝගිතා සැලසුමක් අත්සන් කළ පළමු කැරිබියානු රටවලින් එකක් බවට සුරිනාම් ජනරජය පත්ව ඇතැයි ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. දෙරට සෑම විටම එකිනෙකාට ගෞරව කරමින්, සමානාත්මතාවයෙන් සලකමින් දකුණු-දකුණු සහයෝගිතාවට මනා ආදර්ශයක් සපයා ඇත.

ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් තම ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් ස්වාධීනව තෝරා ගැනීම සඳහා චීනය සුරිනාම් ජනරජයට උපරිම සහාය දෙන බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. සුරිනාම් යනු කැරිබියානු කලාපයේ චීන ජාතිකයන් වැඩිම පිරිසක් වෙසෙන රටවලින් එකකි. චීන වසන්ත උත්සවය නීත්‍යනුකූල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බටහිර අර්ධගෝලයේ පළමු රට වන්නේ ද එයයි. චීන - සුරිනාම් දෙපාර්ශ්වයම සංස්කෘතික හුවමාරුව දිරිමත් කරමින් කොන්ෆියුසියස් ආයතන ඒකාබද්ධව ගොඩනැගීම අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ෂී ජින් පිං මහතා පැවසීය. බහුපාර්ශ්වික සම්බන්ධීකරණය මෙන්ම සමගිය සහ සහයෝගිතා ශක්තිමත් කිරීම සඳහා සුරිනාම් සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටී. කැරිබියානු රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගැනීම චීනය අතිශය වැදගත් කොට සලකන බවත්, සමෘද්ධිය සහ සංවර්ධනය ගවේෂණය කිරීමේ දී සහ ජනතා යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ දී කැරිබියානු රටවලට සහාය දෙන බවත් ෂී ජින් පිං මහතා පැවසීය.

තම රටේ සිටින චීන ජාතිකයන් සුරිනාම් රාජ්‍යයේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දී ඇති බව Chan Santokhi මහතා එහිදී පැවසීය. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවා ගත වූ වසර 48 තුළ, සුරිනාම් ජනරජය සැමවිට ම එකම චීනය යන මූලධර්මය අනුගමනය කර ඇති අතර, චීනයේ එක්සත්භාවය වෙනුවෙන් තම රට තරයේ සහාය දක්වයි.

ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කෙරුණු ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ හා ගෝලීය සංවර්ධන මුලපිරුම ඇතුළු වැදගත් ගෝලීය මුලපිරුම්, බහුපාර්ශ්වවාදය සුරැකීමේ දී මෙන්ම ලෝක සාමය හා තිරසර සංවර්ධනය තහවුරු කිරීමේ දී ඉතා වැදගත් ය. ඊට සුරිනාම් ජනරජයේ සහාය හිමි වෙයි. චීනය සමග එක්ව, සහයෝගිතා සහතික කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැංවීමට තහවුරු කිරීමට තම රට සූදානමින් සිටී. කැරිබියානු රටවල් හා චීනය අතර සම්බන්ධතා ඉදිරියට රැගෙන යාමට සාධනීය දායකත්වයක් ලබා දීම තම බලාපොරොත්තුව බව ද Chan Santokhi ජනාධිපතිවරයා මෙම හමුවේ දී සඳහන් කළේය.

මෙම හමුවෙන් පසු, නායක දෙපළ ආර්ථික හා වෙළඳ ආයෝජන, හරිත සංවර්ධනය හා ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සහයෝගිතා ලියවිලිවලට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වූහ.

ගුවන් විදුලිය
20240430අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම