අඛණ්ඩ ඵලදායිතාව උරුම කර ගනිමින් දියුණු වන චීනයේ කර්මාන්ත අංශය
2024-04-11 15:25:39
Share with:

2024 වර්ෂය ආරම්භයත් සමග චීනයේ ආර්ථික ක්‍රියාවලියේ පිබිදීමක් දැක ගත හැකිය. වසරේ පළමු මාස දෙක තුළ කර්මාන්ත අංශයේ සැලකිය යුතු වර්ධනය ඒ සඳහා හොඳම සාධකයකි. චීනයේ නිල ආර්ථික දත්තවලට අනුව පසුගිය වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලට සාපේක්ෂව මෙම වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ චීනයේ කර්මාන්ත අංශයේ ආර්ථික වර්ධනය සියයට 10.2ක වර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. මේ අනුව චීන කර්මාන්ත අංශය වේගයෙන් වර්ධනය වන, ලාභ උපයන සහ දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගේ ආකර්ෂණයට ලක් වූ අංශයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා පවසයි.

චීනයේ මහා පරිමාණ ප්‍රාග්ධන ආයෝජනය, කර්මාන්ත අංශයේ මෙම වර්ධනයට හේතු වූ ප්‍රධාන සාධකයකි. දේශීය ආර්ථිකය තුළ පවතින ඉතුරුම් විධිමත්ව යොදා ගැනීම සහ විදේශීය ආයොජකයන් චීනය වෙත ආකර්ෂණය කර ගැනීම තුළින් එය සාර්ථක කර ගෙන ඇත. චීනයේ අඛණ්ඩ ඵලදායිතා වර්ධනය ද කර්මාන්ත අංශයේ දියුණුවට සාධනීය බලපෑමක් කර ඇති බව ද මහාචාර්යවරයා සඳහන් කරයි.

චීන වෙළඳපොළ ‍‍ජාත්‍යන්තරයට විවෘත වීම, දේශීය වෙළඳපොළ නිදහස් වීම ද මෙම ආර්ථික වෘද්ධිය සඳහා හේතු වී ඇත. වි‍ශේෂයෙන්ම චීනයේ කර්මාන්ත අංශය තුළ තඹ කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ මාර්ගගත සාප්පු සවාරි වැනි නවීන විද්‍යුත් ක්‍රම වේගයෙන් දියුණු වී තිබේ. එමෙන්ම 5G තාක්ෂණය වැනි නවීන තාක්ෂණික දැනුම භාවිත කිරීම මෙම සියලු කර්මාන්ත අංශවල දියුණුවට සුවිශේෂ දායකත්වයක් ලබා දී ඇති බව ද හෙතෙම පවසයි. සිය ශ්‍රම බලකායේ සාපේක්ෂ වාසිය ද හිමි කර ගනිමින්, නිෂ්පාදන පිරිවැය කළමණාකරණය කර ගැනීම ඔස්සේ චීනය විවෘත ප්‍රවේශයකින් වේගවත් සංවර්ධන ගමනක නිරතව සිටින බව මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා වැඩිදුරටත් කියාසිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම