චීන ආර්ථිකය පිළිබඳ විශේෂ සංකල්පයක් වර්තමානයේ බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබේ. ඒ, ‘ද්විත්ව ආර්ථික චක්‍රය’ යන්නයි. එහෙයින් මේ පිළිබඳව නිවැරදිව පැහැදිලි කිරීම කාලීන අවශ්‍යතාවකි.
ඕනෑම රටක ආර්ථික චක්‍රය, දේශීය හා ජාත්‍යන්තර ලෙස ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතය. ඒ අතරින් ප්‍රධාන කොට සලකන්නේ දේශීය ආර්ථික චක්‍රය ද ජාත්‍යන්තර ආර්ථික චක්‍රය ද යන්න, එරට සංවර්ධන අදියර, ආර්ථික පරිසරය හා ඉලක්ක මත තීරණය කෙරේ. උදාහරණයක් ලෙස, ගෙවී ගිය ශතවර්ෂයේ අසූව දශකයේ පමණ එනම්, චීනය ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමට පෙර, දේශීය ආර්ථික චක්‍රය වඩාත් කැපී පෙනුනු අතර ජාතික ආර්ථිකයේ විදේශ වෙළඳාමේ ප්‍රමාණය ඉතා සුළු කොටසක් විය. නමුත් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමත් සමග චීනයට ජාත්‍යන්තර ආර්ථික චක්‍රයට එකතු වීමට අවශ්‍ය වූ අතර ඉන් චීනයේ ආර්ථිකයට විශාල උත්තේජනයක් ලැබී උසස් වර්ධනයක් ද හිමි විය. එතැන් සිට චීනය ගෝලීය වර්ධන ප්‍රවණතාවයට සම්බන්ධ වූ බව කිව හැකිය.
එහෙත් වර්තමානයේ චීනයේ දෙස් විදෙස් පරිසරය වෙනස් වී ඇති අතර සමස්ත ලෝකය ද පෙර නොවූ විරූ අයුරින් විපර්යාසයන්ට මුහුණ දෙමින් සිටී.
දිගුකාලීන වර්ධනයෙන් අනතුරුව දැවැන්ත ආර්ථික විභවයක් සහිත වෙළඳපොලක් හා පූර්ණ කාර්මික පද්ධතියක් චීනය ගොඩනගා ගෙන ඇත. ලොව විශාලතම පරිභෝජන වෙළඳපොල පවතින්නේ ද චීනය සතුවය. මේ හේතුවෙන් රටේ දේශීය ආර්ථික චක්‍රය හා ජාත්‍යන්තර ආර්ථික චක්‍රය අතර සම්බන්ධතාවය සකස් කිරීමට චීනයට වාස්තවික උවමනාවක් මතුව තිබේ.
ජාත්‍යන්තර තත්ත්වය කෙරෙහි අවධානය යොමු කළහොත්, ගෝලීය ආර්ථික අවපාතය, ජාත්‍යන්තර වෙළඳාම හා ආයෝජනයේ මට්ටම සැලකිය යුතු ලෙස පහළ යාම, මූල්‍ය සේවා වෙළඳපොලේ අස්ථාවරත්වය, ආර්ථික ගෝලීයකරණය බාධාවන්ට ලක්වීම, ඇතැම් රටවල් වෙළඳ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, භූ දේශපාලනික අවදානම් ඉස්මතු වීම යන විවිධ තත්ත්වයන් හමුවේ, ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමය වරින් වර කඩා වැටීමට ලක්ව ඇත.
චීනයේ උත්තරීතර නායක ෂී ජින්පිං මහතා රටේ ‘නව සංවර්ධන ව්‍යුහය’ ගොඩනැගීම පිළිබඳ උපායමාර්ගික තීරණය ඉදිරිපත් කළේ මෙවැනි දෙස් විදෙස් තත්ත්වයන් මධ්‍යයේ ය. එහි කේන්ද්‍රීය ම කරුණ වනුයේ, දේශීය ආර්ථික චක්‍රය ප්‍රධාන කොට ගෙන දේශීය හා ජාත්‍යන්තර ආර්ථික චක්‍ර එකිනෙකට හිතකර සේ ද්විත්ව ආර්ථික චක්‍රයක් ලෙස සංවර්ධනය කිරීම ය. එම උපායමාර්ගය, සැබවින්ම මාලිමාවක් සේ චීන ආර්ථිකය නමැති දැවැන්ත නෞකාව ඉදිරියට ගමන් කළ යුතු දිශාව පැහැදිලිව පෙන්වා දී ඇත.