රෆා නගරයේ මෙහෙයුමක් සඳහා තම හමුදා ගාසා තීරයෙන් ඉවත් කර ගත් බව ඊශ්‍රායලය කියයි
2024-04-08 10:40:17
Share with:

රෆා නගරයේ සිදුකෙරෙන මෙහෙයුමක් සඳහා සූදානම් වීමට ඊශ්‍රායල හමුදා දකුණු ගාසා තීරයෙන් ඉවත් කර ගත් බව එරට ආරක්ෂක අමාත්‍ය Yoav Gallant කියාසිටී. හෙතෙම මේ බව ඊයේ (7) නිවේදනය කළේය.

7 වැනිදා ගාසා තීරයෙන් පිටත් වූ හමුදා ‘පසු විපරම් මෙහෙයුම්’සඳහා සූදානම් වෙමින් සිටින බව ද ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ දකුණු විධානයේ චාරිකාවකට එක්වෙමිනි.

මධ්‍යම ගාසා තීරයේ රැඳී සිටින නහාල් බලකාය හැර සමස්ත දකුණු ගාසා තීරයේ රඳවනු ලැබ සිටි සියලුම හමුදා සේනාංක ඊශ්‍රායලය ඉවත් කර තිබේ. මෙහිදී දකුණු ගාසා තීරය දෙකට බෙදී ඇති අතර, දකුණේ සිට උතුරට සිවිල් වැසියන් යළි පැමිණීම ද වළක්වා ඇත.

මේ අතර, ඊශ්‍රායල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි Herzi Halevi මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සොල්දාදුවන් ඉවත් කර ගත්ත ද හමාස් සංවිධානයට එරෙහි යුද මෙහෙයුම මේ වනවිට බොහෝ දුරට අවසන් බවයි. සැඟව සිටින ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරීන් කෙසේ හෝ සොයාගන්නා බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේය.

මේ සතිය මුල දී සිරියාවේ අගනුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාල ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු,  ඊශ්‍රායල හමුදා ඉරානයට සහ එහි ප්‍රොක්සිවරුන්ට එරෙහිව ද මනා සූදානමකින් පසුවන බව ද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම