මධ්‍යම ගාසා තීරයට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් විදේශිකයන් තිදෙනෙක් ජීවිතක්ෂයට
2024-04-02 10:53:55
Share with:

 මධ්‍යම ගාසා තීරයට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් විදේශිකයන් තිදෙනෙකු මිය ගොස් ඇති බව හමාස් සන්නද්ධ සංවිධානයේ මාධ්‍ය කාර්යාලය ඊයේ(01) සවස නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. මියගිය තිදෙනා  "World Central Kitchen" නමැති පුණ්‍යායතනයේ කාර්යමණ්ඩල සාමාජිකයින් වන අතර ඔවුන් බ්‍රිතාන්‍ය, පෝලන්ත සහ ඕස්ට්‍රේලියානු ජාතිකයන් වන බව එම ප්‍රකාශයේ සඳහන් විය.

එම සංවිධානයේ සාමාජිකයින් ගාසා තීරයට ආහාර සහනාධාර සපයමින් සිටි බවත්, එවැනි මානුෂීය ආධාර ලබා දෙන සේවකයින් සහ සිවිල් වැසියන් කිසිවිටෙකත් ඉලක්ක නොකළ යුතු බවත් එම පුණ්‍යායතනය ද අද(02) ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ ය.

පලස්තීන ගාසා තීරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය 01 වැනිදා නිකුත් කළ දත්තවලට අනුව ගෙවී ගිය පැය 24 තුළ ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ කළ යුද මෙහෙයුම්වලින් පුද්ගලයින් 63ක් මිය ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 94කි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී පලස්තීන-ඊශ්‍රායල් ගැටුමේ නව වටය ආරම්භ වීමෙන් පසුව, ගාසා තීරයේ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම් හේතුවෙන් පුද්ගලයින් 32,800 කට වැඩි පිරිසක් මිය ගොස් 75,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම