චීන-ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර හමුවක්
2024-03-27 09:04:13
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වෙයි.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ඊයේ(26) බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේදී දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.

ශ්‍රී ලංකාව සමග එක්ව, දෙරටේ රාජ්‍ය නායකයන්ගේ එකඟතාවන් අනුගමනය කරමින් දේශපාලන විශ්වාසය මනාව තහවුරු කර විවිධ ක්ෂේත්‍රයන්හි හුවමාරු හා සහයෝගිතා පුළුල් කිරීමට චීනය සූදානම් බව ලී ච්‍යං මහතා එහිදී සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, ස්ථාවරත්වය සහ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දරන ඕනෑම උත්සහයකට චීනය සිය උපරිම සහාය ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාව සමග එක්ව ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීම සඳහා වන දැවැන්ත ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කිරීම සහතික කරන අතර දෙරටේ ආර්ථික හා වෙළඳ, කෘෂිකර්මාන්තය, සමුද්‍රීය විද්‍යා පර්යේෂණ ඇතුළු විවිධ ක‍්ෂේත්‍රවල සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බව ද ලී ච්‍යං අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

දීර්ඝ කාලයක් තුළ සිය රටෙහි ස්වෛරීභාවය, ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනය ලබා දුන් සහාය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී සිය ස්තුතිය පළ කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට උපකාර කිරීමටත්, නව කොරොනා වසංගතය හා මූල්‍ය ණය අර්බුදයට මුහුණ දීම සඳහා චීනය ලබා දී ඇති මහඟු සහයෝගයට ද හෙතෙම කෘතඥතාව පළ කළේය. ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ හා ගෝලීය මුලපිරුම් ශ්‍රී ලංකාවේ ඉහළ ඇගයීමට ලක් වෙයි. එමෙන්ම එකම චීනය යන මූලධර්මය අඛණ්ඩ ව පිළිගන්නා  ශ්‍රී ලංකාව, දෙරටේ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා සහතික කරමින් පොදු සංවර්ධනය තවදුරටත් තහවුරු කිරීමට සූදානම් බව ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙහීදී දෙරටේ වෙළඳ, ආයෝජන, රේගු, සංවර්ධන කටයුතු පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතා ලියවිලි රැසකට අත්සන් තැබීමේ අවස්ථාවට ද අග්‍රාමාත්‍යවරු එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම