චීන ජනපති සහ ඩොමිනිකා අගමැති අතර හමුවක්
2024-03-25 20:05:04
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, චීනයේ නිල සංචාරයක නිරත ඩොමිනිකා අග්‍රාමාත්‍ය Roosevelt Skerrit මහතා හමුවෙයි. බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී අද (25) එම හමුව පැවැත්විණ.

කැරිබියානු කලාපයේ වැදගත් රටක් වන ඩොමිනිකා ජනරජය චීනය හා සමීප හවුල්කාරී රටක් බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. චීන-ඩොමිනිකා සබඳතාව, සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතා සඳහා මනා නිදසුනක් වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ඩොමිනිකා ජනරජය වෙත චීනය යොමු කළ කෘෂිකාර්මික විශේෂඥ හා වෛද්‍ය කණ්ඩායම් දෙරට මිතුදම පිළිබිඹු කළේය. එසේම, චීනයේ ආධාරයෙන් ඉදිකෙරුණු රෝහල්, මාර්ග හා ක්‍රීඩාංගණ ඇතුළු ව්‍යාපෘති ද ද්විපාර්ශ්වික මිත්‍රශීලී සහයෝගිතාවන්ට සාක්ෂි දරන බව චීන ජනාධිපතිවරයා පැවසීය.

ඩොමිනිකා සමග පවතින සබඳතාව, සහයෝගිතාවයේ හා පොදු ජයග්‍රහණයේ ගාමක බලවේගයක් ලෙස සලකා දෙරට ජනතාවට සුබසෙත සැලසීමට චීනය සූදානම් බව ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

ඩොමිනිකා අග්‍රාමාත්‍ය Roosevelt Skerrit මහතා එම හමුවේ දී පැවසුවේ දෙරට සබඳතාව අන්‍යෝන්‍ය විශ්වාසය, ගරුත්වය හා සහයෝගය පදනම් කර ගන්නා බවයි. චීනය ලබාදුන් ආධාර හා සහය ඩොමිනිකා ජනරජයේ විවිධ ස්ථානවල දී දැකිය හැකි ය. එම ආධාර හා සහය ඩොමිනිකා ජනරජයේ ස්වාධීනත්වය හා සංවර්ධනය තහවුරු කිරීමට උපකාරී වන බව ද අගමැතිවරයා පැවසීය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව සංකල්පය හා ගෝලීය මුලපිරුම් මාලාවට ඉහළ ප්‍රශංසාව පළ කළ Roosevelt Skerrit මහතා වත්මන් ලෝකයේ සහයෝගිතා ශක්තිමත් කිරීමටත්,  සංවර්ධනය හා සමෘද්ධිය සහතික කිරීමටත් එම සංකල්ප ඉතා වැදගත් වන බව ද පැවසීය.

චීනය සමග උපායමාර්ගික සංවාද ඇතුළු සමස්ත සහයෝගිතා ශක්තිමත් කර, ජනතාව‍ අතර මිතුදම් පුළුල් කිරීම මගින් දෙරට සබඳතාව වඩාත් ඉහළ මට්ටමකට ගෙන යාමට තම රට සූදානමින් සිටින බව ද ඩොමිනිකා අග්‍රාමාත්‍යවරයා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම