නව ගුණාත්මක ඵලදායිතාව ඔස්සේ දැවැන්ත නවීකරණයක් සාක්ෂාත් කරන චීනය
2024-03-21 15:58:19
Share with:

මානව සංහතියේ ක්‍රමික විකාශනයත් සමග ‍ආර්ථික, දේශපාලන, සංස්කෘතික මෙන්ම තවත් බොහෝ අංශයන්හි වේගවත් පරිවර්තනයක් සිදු වෙමින් පවතී. එමෙන්ම වසර, දශක, සියවස් ලෙස කාලය ගතව ලෝකය අද වන විට ඉතා උසස් තාක්ෂණික විපර්යාසයකට ලක්ව ඇත. එම සියලු පරිවර්තනයන්හි කර්තෘ වන්නේ මිනිසා ය. එහෙයින් මේ මොහොත වනවිට මානවයා සහ ලෝකය නොනවතින සංවර්ධනයක හවුල්කරුවන් වී අවසන් ය. මෙම දැවැන්ත තාක්ෂණික දියුණුව මඟහැර සිටීම කළ නොහැකි දෙයක් වන අතර, ඒ සමග ඉදිරියට ගමන් කිරීම ලෝකයේ සියලු පාර්ශ්වයන්ට ඇති අභියෝගයයි. චීනය මෙම ප්‍රධාන අභියෝගය සාර්ථකව හඳුනා ගනිමින් වර්තමානයේ එය සිය ආර්ථිකයේ ප්‍රධාන ගාමක බලවේගයක් බවට පත් කර ගෙන ඇති බව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ, ව්‍යාපාර හා සන්නිවේදන අධ්‍යයන පීඨයේ, භාෂා සහ සන්නිවේදන අධ්‍යයන දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය ආචාර්ය දසුනි නයන්තරා ජයරත්න මහත්මිය පවසයි.

සම්ප්‍රදායික ක්‍රම ශිල්ප සුරක්ෂිත කරන අතරතුර නව තාක්ෂණික ක්‍රම ශිල්ප නිෂ්පාදන අංශ සඳහා යොදා ගැනීම සිදු කළ යුතුව ඇත. පසුගිය දා චීන වාර්ෂික ජාතික සැසිවාරයන්ට සමගාමීව පැවති සාකච්ඡාවල දී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මෙම සංකල්පය වඩාත් ප්‍රායෝගිකව භාවිත කළ හැකි ආකාරය පිළිබඳ පැහැදිලි කළේය. ඔහු එය හඳුන්වා දුන්නේ “නව ගුණාත්මක ඵලදායිතාව” ලෙසයි. මේ සම්බන්ධයෙන් විග්‍රහ කරමින් කථිකාචාර්යවරිය පැවසුවේ එම සංකල්පය කෘෂිකර්මාන්ත, කාර්මික සහ සේවා යන ප්‍රධාන නිෂ්පාදන අංශ ත්‍රිත්වයටම සමව යොදා ගැනීමෙන් තිරසර බව සහතික කළ හැකි බවයි.

මේ වනවිටත් චීනයේ කෘෂිකර්මාන්ත අංශය දැවැන්ත නවීකරණයකට යොමුව ඇති බව නොරහසකි. එය ඔවුන්ගේ තිරසර පරිභෝජන සහ අපනයන රටාව තුළින් මනාව පෙන්නුම් කරයි. වගා බිම් හඳුනා ගැනීම, පස සංරක්ෂණය, වැඩි දියුණු කළ බීජ නිර්මාණය, අස්වනු නෙළීම, බෙදාහැරීම ආදී සමස්ත කාර්යයන් තුළ දී චීනය ස්වයංක්‍රීය තාක්ෂණය යොදා ගනී. එමෙන්ම පළාත් මට්ටමින් එහි සැබෑ ස්වභාවයන් හඳුනා ගෙන නව ක්‍රමවේද තවදුරටත් භාවිත කිරීමට අවශ්‍ය පෙළඹවීම චීන රජය මනාව ඉටු කරන බව මෙම සංකල්ප ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි වේ.

වර්තමානයේ සියලු රටවල් සිව්වන ‍ගෝලීය කාර්මික විප්ලවයට මුහුණ දෙමින් සිටී. හුදෙක් භෞතික තාක්ෂණ දියුණුවක් නො‍වන එය ඩිජිටල්කරණයෙන් බලගැන්වුණු පරිවර්තනයකි. උසස් රොබෝ තාක්ෂණය සිය කර්මාන්ත සඳහා මේ වනවිටත් යොදා ගන්නා චීනය, ලොව ප්‍රමුඛතම බුද්ධිමය තාක්ෂණ නිෂ්පාදන පිළිබඳ කර්මාන්තශාලා නාමාවලියේ කර්මාන්තශාලා 21ක් අතරින් 11කටම හිමිකම් කියන බව ලෝක ආර්ථික සංසදය පෙන්වා දෙයි. මෙවන් පසුබිමක් යටතේ චීන රජය ප්‍රමුඛ එරට නායකයන්ගේ ඉදිරි සැලසුම් ද විමසා බලන විට අනාගත කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යය චීනය වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද ජයරත්න මහත්මිය ප්‍රකාශ කරයි.

චීන සේවා අංශයේ සැබෑ දියුණුව කෙතරම් ද යන්න පසුගිය කොවිඩ් සමයේ දී පවා වඩාත් හොඳින් පැහැදිලි විය. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහන සහ සන්නිවේදන යනාදී අංශ ඵලදායී සේවයක් සපයන අතර එය දැනටමත් නව ගුණාත්මක ඵලදායිතාව සහතික කර ඇතැයි ද ඇය කියාසිටී.

තම රටට අනන්‍ය වූ මෙම නවීකරණය සමග ගුණාත්මක ඵලදායිතාව සහතික කිරීමට චීනයේ දැවැන්ත ආර්ථිකයට නුදුරේදීම හැකි වනු ඇත. එය ඔවුන්ගේ ඉලක්ක ඉටු කරනවා පමණක් නොව සමස්ත ලෝකයේම හෙට දවස වෙනුවෙන් ඉහළ දායකත්වයක් දක්වනු ඇතැයි ද කථිකාචාර්ය ආචාර්ය දසුනි නයන්තරා ජයරත්න මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම