චීනය හා ඔස්ට්‍රේලියාව උපායමාර්ගික හවුල්කාරී සබඳතාවන් පුළුල් කරයි
2024-03-20 15:56:59
Share with:

චීනය හා ඔස්ට්‍රේලියාව උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ඒකාබද්ධව සංවර්ධනය කිරීමට එකඟ වෙයි. සංනිවේදනයන් ශක්තිමත් කිරීම සහ සහයෝගතා වර්ධනය මගින් එය සිදු කෙරේ. චීන ඔස්ට්‍රේලියා සබඳතා යළි නියම මාවතට ප්‍රවේශවී ඇති බැවින් පැකිලීමකින් තොරව, මග නොවරදා, යළි නොහැරී ද්වීපාර්ශ්වික සබඳතා ඉදිරියට ගෙන යායුතු බව ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා අද ( 20 ) ප්‍රකාශ කළේය.   ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී පෙනී වොන්ග් මහත්මිය සමග හත්වන චීන ඔස්ට්‍රේලියා විදේශ හා උපාය මාර්ගික සංවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙය දෙර‍ටේ ජනතාවගේ පොදු අභිලාෂයන් හා කලාපයේ රටවල අපේක්ෂාවන් සමග ගැලපෙන බවද හෙතෙම කීය. දෙරට වඩාත් ස්ථාවර, ප්‍රතිඵලදායී උපායමාර්ගික සබඳතාවක් වෙනුවෙන් ක්‍රියා කිරීමේ වැදගත්කමද හෙතෙම පෙන්වා දුන්නේය. දෙරට අතර ද්වීපාර්ශ්වික පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව පිහිටුවා මෙම වසරට වසර 10ක් සපිරේ. ගෙවුනු වසර 10 තුළ සබඳතාවන්හී සිදුවූ විවිධ උස් පහත්වීම් තුළින් ඉගෙන ගත් පාඩම් පමණක් නොව ඉන් ලද අත්දැකීම් ද අගය කළ යුතු බව හෙතෙම කීය.

එහිදී අදහස් දැක්වූ ඔස්ට්‍රේලියා විදේශ ඇමතිවරිය පැවසුවේ ඔස්ට්‍රේලියාව හා චීනය අතර ඓතිහාසික, වෙළඳ හා සංස්කෘතික වශයෙන් සමීප සබඳාතාවක් පවතින බවයි. දෙරට සමාන කලාපයේ උපායමාර්ගික හවුල්කරුවන් බවද ඇය සඳහන් කළාය. මෑත කාලයේදී දෙරට ද්වීපාර්ශ්වික සබඳතාවන්හී ඇතිවූ කැපීපෙනෙන ප්‍රගතිය ඇයගේ ඇගයීමට ද ලක්විය. මේ අතර විවිධ ක්ෂේත්‍රවල සංවාදයන් යළි ඇරඹීමට දෙපාර්ශ්වය එහිදී එකඟවූහ. දෙරටේ විදේශ කටයුතු අමාත්‍යංශවල දෙපාර්තමේන්තු අතර සහයෝගතාවන් වර්ධනය කිරීමට ක්‍රියා කෙරෙන අතරම ආර්ථික හා වෙළඳ, විද්‍යා හා තාක්ෂණ, අධ්‍යාපන හා නීති බලාත්මක කිරීම යන ක්ෂේත්‍රවල සහයෝගතා වර්ධනය කිරීමට ද එකඟත්වය පළවිය. දෙරටේ පුද්ගල හුවමාරු වෙනුවෙන් වැඩි පහසුකම් සැලසීමට ද පියවර ගැනේ. ජාත්‍යන්තර හා කලාපීය වශයෙන් පොදු සැලකිල්ලට ලක්වන කරුණු පිළිබඳවද දෙරටේ විදේශ ඇමතිවරු සාකච්ඡා කළහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම