2024 වසරේ චීනයේ සැලසුම් සහගත ආර්ථික වැඩපිළිවෙළ
2024-03-19 10:23:32
Share with:

චීන සංවර්ධන ගමනේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස සැලසුම්ගත සංවර්ධන වැඩපිළිවෙළ හැඳින්විය හැකිය. මේ වනවිට චීනයේ ක්‍රියාත්මක වන්නේ 14 වන පස් අවුරුදු සංවර්ධන සැලැස්මයි.  ඊට සමගාමීව 2024 රාජ්‍ය කාර්ය වාර්තාව පසුගිය දා චීන වාර්ෂික ජාතික සැසිවාරයේ දී ඉදිරිපත් කෙරිණ. එහිදී 2024 වසරේ සියයට 5ක ආර්ථික වර්ධන ඉලක්කයක් පවත්වා ගන්නා බව ප්‍රකාශ කෙරිණ. කොවිඩ් වසංගත අභියෝග සාර්ථකව ජයගත් චීනයේ මෙම ඉහළ වර්ධන ඉලක්කයන් එරට සංවර්ධන වැඩපිළිවෙළ තුළ ඇති සැලසුම් සහගත බව මනාව පෙන්නුම් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථිකවිද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳ සිලෝන් පදනමේ සභාපති පසන් විජයවර්ධන මහතා පවසයි.

මෙවර සැසිවාරයේ රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව නාගරික වශයෙන් මිලියන 12ක රැකියා උත්පාදනය කිරීම, විරැකියා අනුපාතය සියයට 5.5 ක මට්ටමක පවත්වා ගැනීම, නිෂ්පාදන ආර්ථිකය තවදුරත් ශක්තිමත් කිරීම සහ උද්ධමනය පාලනය කිරීමට අපේක්ෂා කෙරේ. සමස්තයක් ලෙස ආර්ථික සංවර්ධනය, නවීකරණය, ජනතා සුබසාධනය, හරිත ආර්ථිකය සහ සමාජ සංරක්ෂණය යන ප්‍රධාන අංශ ඔස්සේ තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම චීනයේ ඉදිරි අපේක්ෂාවයි. ඒ අනුව සෑම ආකාරයකින්ම නව්‍යකරණය වූ සමාජවාදී රටක් මේ සියවස මැද භාගය වනවිට නිර්මාණය කිරීම චීනයේ අරමුණ බව ද හෙතෙම කියාසිටියේය.

2020 වසරේ දී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ 2035 වන විට සමස්ත චීන ආර්ථික පරිමාව දෙගුණයකින් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ සඳහා වාර්ෂික ආර්ථික වර්ධන අනුපාතය අවම වශයෙන් සියයට පහක මට්ටමක පවත්වා ගැනීම වැදගත් වේ. 2024 වසරේ ඉලක්කය පිළිබඳ සලකා බලන විට ජනාධිපතිවරයාගේ එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට චීනය මේ වන විටත් ප්‍රවේශ වී ඇති බව ද ඔහු පැවසීය.

ග්‍රාමීය පුනර්ජීවනය පිළිබඳව ද මෙවර චීන වාර්ෂික සැසිවාරයේ දී වැඩි අවධානයක් යොමු කර ඇත. කෘෂිකර්මාන්තය, කර්මාන්ත, ග්‍රාමීය සහ නාගරික යන සිව්වැදෑරුම් අංශ එකිනෙකට අනූපූරක කිරීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය. එනම් එක් අංශයක ඇති වන දියුණුව අනෙකුත් අංශ සමග සම්බන්ධ කරමින් අනූපූරක සංවර්ධනයක් ළඟා කර ගැනීමයි. 

සිය දේශීය ආර්ථිකය වෙත වැඩි අවධානයක් යොමු කරන අතරතුර විදේශ සම්බන්ධතා වර්ධනය කර ගනිමින් විදේශ සමාගම් සමග සහයෝගී ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යාමට දා චීනය මෙම වසරේ දී සැලසුම් කර ඇති බව කථිකාචාර්ය පසන් විජයවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම