තවදුරටත් ගෝලීය සංවර්ධනයේ ශක්ති සම්පන්න ගාමක බලවේගය චීනය යි
2024-03-15 16:35:34
Share with:

චීනයේ ඉහළම බල ආයතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරයට ඉදිරිපත් කෙරුණු රාජ්‍ය කාර්ය වාර්තාව මගින් චීනය සිය ඉදිරි ඉලක්ක සහ වැඩපිළිවෙළ මෙවරත් මැනැවින් පැහැදිලි කර තිබේ. එය, ආර්ථික හා සමාජ සංවර්ධනය අතින් චීනය අත්පත් කර ඇති ස්ථාවරත්වය පිළිබඳ ප්‍රකාශනයක් ලෙස හැඳින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා කියාසිටී.

2024 වසරේ චීනය දළ දේශීය නිෂ්පාදන වටිනාකමේ 5 % ක වර්ධනයක් අපේක්ෂා කරයි. ලොව කෙතරම් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ පා සිටියත් චීනය තම වැඩපිළිවෙළ කෙරෙහි මනා විශ්වාසයකින් පසුවන බව මින් ප්‍රකට වෙයි. එසේම, ජාත්‍යන්තර ආදායම හා වියදම මූලික වශයෙන් සමබරව පවත්වා ගැනීම චීනයේ මූලික අරමුණකි. මෙය රටක පැවැත්ම සඳහා ඍජුව බලපාන සාධකයකි. තම ශක්‍යතා හා පරිමාණය මෙන්ම රටේ සැබෑ තත්ත්වය හඳුනා ගනිමින් ගෝලීය විපර්යාස හමුවේ චීනය නොසැලී සිටින්නේ මෙවැනි ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා බව ද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

තම ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 650 කට වැඩි ප්‍රමාණයක් දක්වා වැඩිකිරීම ද මෙම වසරේ චීනයේ ප්‍රධාන සංවර්ධන ඉලක්කයකි. ආහාර සුරක්ෂිතතාව බෙහෙවින් අවදානමකට ලක් ව ඇති යුගයක චීනය මෙවන් ජාතික ප්‍රතිපත්තියකට ප්‍රමුඛතාව ලබාදීම බෙහෙවින් අගය කළ යුතු බව ද දොළවත්ත මහතා ප්‍රකාශ කරයි.

එසේම තම විවෘතභාවය හා ප්‍රතිසංස්කරණ පුළුල් කරමින්, ආයෝජන පරිසරය උසස් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද රාජ්‍ය කාර්ය වාර්තාවෙන් පෙන්වා දී තිබේ. මෙම සියලු පියවර තුළින්  චීනය තවදුරටත් ගෝලීය සංවර්ධනයේ ශක්ති සම්පන්න ගාමක බලවේගය බවට පත්වනු ඇතැයි මන්ත්‍රීවරයා විශ්වාසය පළකරයි.

චීනයේ ජාතික සැසිවාරයන්හි සාර්ථකත්වය පිළිබඳව සුබ පැතුම් පළ කරන අතර ම, සිය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කිරීම සඳහා චීනය දරන ප්‍රයත්න සඵල වේවා යි පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා සුබ ප්‍රාර්ථනා කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම