චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය තුළින් යළිත් මනාව පිළිබිඹු වන චීනයේ සැලසුම් සහගත ක්‍රියා පිළිවෙත
2024-03-13 18:38:50
Share with:

චීනයේ ඉහළම බල අධිකාරි ආයතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය මෙවරත් ඉතා සාර්ථක ව පැවති බවත්, එයින් චීනයේ සැලසුම් සහගත ක්‍රියා පිළිවෙත මනාව ප්‍රකට වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියාසිටී.

එම සැසිවාරයේ දී රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා රටේ දළ දේශීය නිෂ්පාදිතයේ 5% ක වර්ධනයක් මේ වසරේ අපේක්ෂා කරන බව පවසා ඇත. එසේම, රටේ රැකියා නියුක්තිය ඉහළ නැංවීම, ආහාර සහ ධාන්‍ය නිෂ්පාදනයේ ඉහළ අගයක් සපුරා ගැනීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ චීනය සිය දේශීය ආර්ථිකය සවිමත් කිරීමේ පියවර ගණනාවක් ගෙන තිබේ. එය ශ්‍රී ලංකාව වැනි රටවලටත් ආදර්ශයට ගත හැකි පිළිවෙතක් බව අමාත්‍යවරයා කියාසිටී. එසේම චීනය දෙස් විදෙස් ආයෝජන දිරිගැන්වීමට ක්‍රියා කරන බව ද රාජ්‍ය කාර්ය වාර්තාවේ දක්වා තිබේ.

චීන රජය අප රට හා පවත්වන සහයෝගිතා සහ විදෙස් පිළිවෙත අගය කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බව ද අමාත්‍යවරයා පවසයි. විශේෂයෙන්ම මෙරට පාසල් දරුවන්ගේ 2024 වසරේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 80% ක් ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුව පියවර ගත්තේය. පසුගිය 2023 වසරේ ද පාසල් නිල ඇඳුම්වලින් 70% ක් ප්‍රදානය කිරීමට එම බලධාරීන් ක්‍රියා කළ බව හෙතෙම කෘතවේදී ව සිහිපත් කරයි. රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි එම අවස්ථාවේ අපේ පාසල් දරුවන්ට එය මහත් අස්වැසිල්ලක් වූ බව ද ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි.

ඉතිහාසයේ සිට චීනය සහ අප අතර පවතින මිත්‍රත්වය එලෙසම පවත්වාගෙන යා යුතු බව ද අමාත්‍යවරයා කියාසිටී. ඉදිරි කාලයේ සැලසුම් කර ඇති අධ්‍යාපන ඩිජිටල්කරණය ඇතුළු ව්‍යාපෘති රැසක් සඳහා චීන රජය ශ්‍රී ලංකාව වෙත දැවැන්ත පරිත්‍යාගයක් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඊට ස්තුතිය පළකරන බවත් ඔහු පවසයි.

චීනය  සාක්ෂාත් කරන දියුණුව හා සංවර්ධන ප්‍රතිලාභ අප වැනි රටවල් සමග බෙදා හදා ගනු ඇතැයි අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කෘතවේදීත්වයෙන් යුතුව කියාසිටී.

ගුවන් විදුලිය
20240430අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම