චීනය සාමය, ස්ථාවරත්වය සහ ප්‍රගතියේ බලවේගයක්-- චීන විදේශ ඇමති
2024-03-07 10:48:55
Share with:

චීනය සාමය, ස්ථාවරත්වය සහ ප්‍රගතියේ බලවේගයක් වන බව චීන විදේශ ඇමති වං යී මහතා කියා සිටී.

14වැනි චීන ජාතික මහජන කොංග්‍රහයේ දෙවැනි සැසිවාරය අද (7) පෙරවරු පැවැත්වූ රාජ්‍යතාන්ත්‍රිකත්වය තේමා කරගත් මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

වං යී මහතා එහිදී චීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති හා විදේශීය සබඳතා පිළිබඳව දෙස් විදේස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.

වත්මන් ලෝක තත්ත්වයේ ගැඹුරු විපර්යාසයක් සිදු වෙමින් පවතින  අතර මානව සමාජය විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිටී. සංකීර්ණ හා නිරන්තරයෙන් වෙනස් වන ජාත්‍යන්තර පරිසරය හමුවේ, චීනය ලෝකයේ සාමය, ස්ථාවරත්වය සහ ප්‍රගතිය සුරකින බලවේගයක් ලෙසට ස්ථිරව ක්‍රියා කරන බව වං යී මහතා එහිදී පැවසීය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය යටතේ, 2023 වසරේ චීනයේ රාජ්‍යතාන්ත්‍රිකභාවය චීන ‍කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ දැක්ම ගැඹුරු ලෙස ක්‍රියාත්මක කර ඇති බව වං යී මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට චීනය ප්‍රායෝගික පියවර ගෙන තිබේ. විවිධ අර්බුද සහ අභියෝගවලට මුහුණ දීමේදී චීනය ඒවාට නිසි විසඳුම් ද ලබා දී ඇත. ලෝක සාමය හා සංවර්ධනය සඳහා චීනය අඛණ්ඩ දායකත්වයක් ලබා දී ඇති බව හෙතෙම කියාසිටියේය. 2023 වසරේ චීනයේ රාජ්‍යතාන්ත්‍රික න්‍යාය සහ භාවිතය නව මට්ටමකට ඉහළ නංවා ඇති බව ද වං යී මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පොදු ඉරණම සහිත මානව ප්‍රජාව යන සංකල්පය ඉදිරිපත් කිරීමෙන් පසු ගෙවුණු වසර 10 තුළ ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇතැයි වං යී මහතා එහිදී පෙන්වා දී තිබේ. ‍

පොදු ඉරණම සහිත මානව ප්‍රජාව ගොඩනැගීම සංකල්පයක සිට විද්‍යාත්මක පද්ධතියක් දක්වා වර්ධනය වී ඇති අතර එය චීනයේ යෝජනාවක සිට ජාත්‍යන්තර පොදු එකඟතාවක් දක්වා පුළුල් වී ඇතැයි හෙතෙම කියා සිටී. චීනය රටවල් හා කලාප රැසක් සමඟ ක්ෂේත්‍ර රැසක විවිධ ආකාරයේ පොදු ඉරණම සහිත ප්‍රජාවන් ගොඩනගා තිබෙන බව ද වං යී මහතා සඳහන් කළේය.

එක් විශාල බලවේගයකට සියලු රටවල් වෙනුවෙන් තීරණ ගැනීමට ඉඩ නොදිය යුතු බව චීන විදේශ ඇමතිවරයා පවසයි. එසේම ඇතැම් රටවල් කෑම මේසයේ සිටින වන විට තවත් රටවල් එහි කෑම ඇණවුම් පත්‍රයේ සිටීමට ඉඩ නොදිය යුතු බව ද ‍හෙතෙම කීය. බහු ධ්‍රැවකරණ ක්‍රියාවලිය තුළ, සියලු රටවල් සමාන හා සාධාරණ ලෙස අයිතීන් සුරැකීමට එක් වෙමින් සිය දායකත්වයන් ඉටු කිරීම සහතික කළ යුතු බව ද ඔහු කියා සිටියේය. 

ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය මුල සිට ම ස්ථාවර සහ අඛණ්ඩ බව වං යී මහතා පෙන්වා දුන්නේය. චීනයේ සංවර්ධනය තාර්කිකව සලකමින් තම පොරොන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ලෙසට වං යී මහතා එහිදී ඇමරිකාවෙන් ඉල්ලා සිටියේය.

 තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය ආරක්ෂා කිරීමට, තායිවාන බෙදුම්වාදීන්ට එරෙහිව පැහැදිලිව ක්‍රියා කළ යුතුය. එකම චීන මූලධර්මයෙහි ස්ථිරව එල්බ සිටීමෙන් සාමය සහතික කළ හැකි යැයි වං යී මහතා පෙන්වා දෙයි.

දකුණු චීන මුහුදු ප්‍රශ්නය මත සිදු කෙරෙන අහේතුක ප්‍රකෝපකාරී ක්‍රියාවලට චීනය කාලෝචිත ප්‍රතිපියවර ගනු ඇත. එම කලාපයෙන් පිටත රටවල් එහි ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහ නොකරන ලෙසට ද හෙතෙම අනතුරු ඇඟවීය.

ගතවූ දශකයකට වැඩි කාලයක් තුළ ෂී ජින්පිං ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළෙන් සරු ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිව තිබේ. අදාල රටවල් සමග එම වැඩපිළිවෙළේ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයෙහි නියැළී සිටීම මගින්, පොදු සංවර්ධනය සැබෑ කර ගැනීමේ හා ලෝක නවීකරණය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රවේශයක් ලබා  ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව වං යී මහතා අවධාරණය කරයි. 

පලස්තීන ඊශ්‍රායල ගැටුම පිළිබඳව අදහස් දක්වමින් වං යී මහතා කියා සිටියේ, සටන් විරාමයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම පෙළඹවීම ජගත් ප්‍රජාවේ ප්‍රමුඛම කාර්යභාරය බවයි. පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිකර ගැනීමට  චීනයේ අනුබලය හිමි වන බව ද ඔහු ප්‍රකාශ කරයි.

‘බ්‍රික්ස්’  සංවිධානයේ වර්ධනය, සාමය සුරකින බලවේගයේ හා ලෝක යුක්ති සහගත පෙරමුණේ ව්‍යාප්තිය බව වං යී මහතා කීය. චීනයේ සංවර්ධනය ලෝකයෙන් වෙන් කළ නොහැකි සේම, චීනය නොමැතිව ලෝකයේ සංවර්ධනය ඉටු නොවනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. චීනයේ කීර්තියට හානි කිරීමට තැත් කළහොත්, තමාටම හානි  සිදුවනු ඇත. චීනය වැරදි ලෙස අවබෝධ කර ගෙන වැරදි තීරණ ගතහොත් සංවර්ධන අවස්ථා මගහැරෙනු ඇතැයි ද  චීන විදේශ ඇමතිවරයා කියා සිටී.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම