චීනය තම රටේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් දිරිගැන්වීම ලෝක ආර්ථික ප්‍රගමනයට ද මනා පිටුබලයකි
2024-02-29 09:12:03
Share with:

චීනයේ ආයෝජනය කිරීමට අලුතින් එක්වන ජාත්‍යන්තර ව්‍යවසායකයන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස වර්ධනය වීමෙන් පෙනී යන්නේ ගෝලීය වශයෙන් චීන වෙළඳපොළ අත්පත් කර ගත් විශ්වසනීයත්වය බව ප්‍රවීණ මාධ්‍යවේදී කමල් කාරියවසම් මහතා කියාසිටී.

චීනයේ නවතම නිල වාර්තාවන්ට අනුව, පසුගිය ජනවාරි මාසයේ චීනයේ ආයෝජනයට එක් වූ ජාත්‍යන්තර ව්‍යවසායන්ගේ ප්‍රතිශතය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 74.4% ක පුළුල් වර්ධනයක් වාර්තා කර ඇත. එසේම, ලොව සුප්‍රකට වොක්ස්වැගන් සමාගමේ විශාලතම විදෙස් පර්යේෂණ මධ්‍යස්ථානය ද ඉකුත් ජනවාරි මාසයේ චීනයේ දී විවෘත කෙරිණ. ලෝක ආර්ථිකය තවමත් මන්දගාමී තත්ත්වයක පසුවෙද්දීත් චීනය මෙවන් සාර්ථකත්වයන් අත් කරගන්නේ අතිශය අභියෝගාත්මක අවස්ථාවන්හි දී පවා තම ආර්ථිකය විශිෂ්ට ලෙස මෙහෙයවා ගැනීම නිසා බව කාරියවසම් මහතා පෙන්වාදෙයි.

‘චීනය තුළ ආයෝජනය කිරීම’යන්න මෙවර චීන මධ්‍යම ආර්ථික සමුළුවේ දීත් පුළුල් අවධානයක් යොමු වූ සංකල්පයකි. විදෙස් ආයෝජකයන් චීනයේ ව්‍යාපාරික කටයුතුවල නිරතවීමේ දී මුහුණ පාන ගැටළු විසඳීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත යුතු බව ද එහිදී අවධාරණය කෙරිණ. කෙසේ හෝ ජාත්‍යන්තර ව්‍යවසායන්ට ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පරිසරයක් සකසා දී ගෝලීය ආර්ථිකයට මනා පිටුබලයක් සැපයීම චීනයේ අපේක්ෂාව යි. මේ අතර, විදුලි සන්නිවේදන, වෛද්‍ය ඇතුළු සේවා කර්මාන්ත ක්ෂේත්‍රයන්ට පිවිසීමේ දී විදේශීය ආයෝජකයන්ට පවතින සීමා ලිහිල් කිරීමට ද චීන බලධාරීහු පියවර ගනිමින් සිටිති. ඒ අනුව චීනය විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීමෙන් මහා පරිමාණ ජයග්‍රහණ අත්කර ගන්නා බව නිසැක වශයෙන් කිව හැකි යැයි ද ප්‍රවීණ මාධ්‍යවේදී කමල් කාරියවසම් මහතා කියාසිටී.

ලෝක ආර්ථිකයට ප්‍රධාන ගාමක බලය සපයන චීනය තම රටේ තිරසර සංවර්ධනය සඳහා අදාළ වන ඉලක්ක සහ දිශානතීන් අතිශය නිවැරදි ලෙස ග්‍රහණය කර ගැනීම ඉතා ප්‍රශංසනීය බව ද ඔහු අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම