කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යළි පණගැන්වීමේ ණය යෝජනා ක්‍රමයක්
2024-02-28 15:58:48
Share with:

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

නිෂ්පාදන, ආනයන, අපනයන, සංචාරක සහ ඇඟලුම් ඇතුළු විවිධ ව්‍යාපාරයන් හි නිරත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සැලකිය යුතු පිරිසකට තම කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී ඇතැයි රජය පවසයි. පවතින ආර්ථික පසුබෑම සහ බාහිර සාධකවල විවිධ බලපෑම් ඊට හේතු වී ඇත.

එම තත්ත්වයට පිළියම් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සඳහා කාරක ප්‍රාග්ධන සහය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබේ.

යෝජිත වැඩසටහන මගින් දැනට ක්‍රියාත්මක ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ප්‍රකෘතිමත් කර, තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් බැංකු මගින් ලබාදීමට අපේක්ෂා කරන බව රජය පවසයි. ඒ සහනදායී පොළී අනුපාත යටතේ යි.

මේ අනුව, දැනට පවත්වාගෙන යනු ලබන සහ නව ව්‍යාවසායන් ශක්තිමත් කිරීමට රුපියල් බිලියන 15 ක මුදලක් සහ තවත් රුපියල් බිලියන 5 ක් අක්‍රිය ණය කාණ්ඩය යටතේ පවතින ව්‍යවසායන් වෙනුවෙන් යෙදවීමට පියවර ගැනෙනු ඇත.

මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාවකි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම