රාමසාන් සමයේදී ගාසා තීරයේ ගැටුම් ව්‍යාප්ත වනු ඇතැයි ජෝර්දාන රජුගෙන් අනතුරු ඇඟවීමක්
2024-02-26 10:54:40
Share with:

ගාසා තීරයේ පැවැත්වෙන අඛණ්ඩ යුද්ධය ශුද්ධ වූ රාමසාන් මාසය තුළ පුළුල් වීමේ අවදානමක් ඇති බවට ජෝර්දානයේ II වන අබ්දුල්ලා රජු ඊයේ(25) අනතුරු ඇඟවීය.පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා සමඟ අම්මාන් හි පැවති හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත. ගාසා තීරයේ ක්ෂණික සහ ස්ථිර සටන් විරාමයකට එළඹීමට සහ අහිංසක සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට උපරිම උත්සාහයක් ගන්නා ලෙස ඔහු එහිදී ඉල්ලා සිටි බව රාජකීය හෂිමයිට් නිවේදනයේ සඳහන් වේ.ජෝර්දානය ගාසා තීරයේ ජනතාවට මානුෂීය, සහන සහ වෛද්‍ය ආධාර අඛණ්ඩව ලබා දෙන බව ද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

බටහිර ඉවුර සහ ගාසා තීරය වෙන් කිරීමේ ඕනෑම උත්සාහයක් ජෝර්දානය ප්‍රතික්ෂේප කරන බව රජු නැවත අවධාරණය කළ අතර, දෙරටේ විසඳුම මත පදනම්ව පලස්තීන ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් සෙවීමට අරාබි සම්බන්ධීකරණය අඛණ්ඩව සිදු කරන ලෙස ඉල්ලා සිටියේය.හමාස්-ඊශ්‍රායල් ගැටුම සම්බන්ධයෙන් ජෝර්දානයේ ස්ථාවරය අගය කරන බව පලස්තීන ජනාධිපති අබ්බාස් මහතා පවසා තිබේ. පලස්තීන අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට සහ නගරයේ ශුද්ධ ස්ථාන ආරක්ෂා කිරීමට දෙපාර්ශවය අතර සමීප සම්බන්ධීකරණය සහ උපදේශන අඛණ්ඩව පැවැත්වීමේ අවශ්‍යතාවය ද හෙතෙම අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම