චීන - රුසියානු ආර්ථික හා වෙළඳ සහයෝගිතා කිසිදු තෙවැනි පාර්ශ්වයක් ඉලක්ක කර නොගන්නා බව චීනය කියයි
2024-02-26 18:24:05
Share with:

තම රට හා රුසියාව පවත්වාගෙන යන විධිමත් ආර්ථික හා වෙළඳ සහයෝගිතා කිසිදු තෙවැනි පාර්ශ්වයක් ඉලක්ක කර නොගන්නා බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය.

"රුසියාවට සම්බාධකවලින් සිදු වන අලාභ මගහරවා ගැනීමට උදව් කිරීම" යන පදනම මත, ඇමරිකානු භාණ්ඩාගාරය පසුගිය සතියේ ඇතැම් චීන ව්‍යවසායන් සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කොට, තවත් චීන ව්‍යවසායන් රැසක් කෙරෙහි අපනයන සීමා පනවා ඇති බව වාර්තාකරුවෙක් එහිදී පැවසීය.

ඒ පිළිබඳව අදහස් දක්වමින්  Mao Ning මහත්මිය කියාසිටියේ, යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් මුල සිට ම සාධාරණ හා යුක්තිසහගත ස්ථාවරයක් දරන චීනය, සාම සාකච්ඡා ප්‍රවර්ධනයේ  නිරත වන බවයි. එසේම, යුක්රේන අර්බුදය දේශපාලනික ආකාරයෙන් විසඳීම සඳහා චීනය සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇතැයි ද ඇය පැවසුවාය.

චීනය හා රුසියාව පවත්වන විධිමත් ආර්ථික හා වෙළඳ සහයෝගිතා කිසිදු තෙවැනි පාර්ශ්වයක් ඉලක්ක කර නොගන්නා අතර, ඊට තෙවැනි පාර්ශ්වයක් මැදිහත් නොවන බව ද Mao Ning මහත්මිය අවධාරණය කළාය. චීන ව්‍යවසායන්ට නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමට තරයේ විරුද්ධ වන චීනය, අවශ්‍ය විධිවිධාන ක්‍රියාත්මක කොට තම ව්‍යවසායන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් නිසිලෙස ආරක්ෂා කරන බව ද Mao Ning මහත්මිය තවදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම