ආර්ථිකය නිසි ලෙස මෙහෙයවා ගැනීම චීන ජයග්‍රහණයන් හි ප්‍රමුඛ පදනම යි
2024-02-22 16:54:14
Share with:

රටට ගැලපෙන ආර්ථික ක්‍රමයක් නිසි පරිදි මෙහෙයවා ගැනීම සැබෑ සංවර්ධනය සාක්ෂාත් කිරීමේ ප්‍රමුඛතම මාර්ගය බව ලොවට ප්‍රායෝගිකව කියා දුන් රාජ්‍යය චීනය බව, ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ලාල් කුමාර මහතා කියාසිටී. චීනය තම තිරසර සංවර්ධන ඉලක්ක වෙත ගමන් කළේ එම පදනම මත පිහිටා බව ද හෙතෙම පෙන්වා දෙයි.

චීනය වාර්ෂික ආර්ථික සැලසුම් සකසන්නේ තත්කාලීන දේශීය හා ගෝලීය තත්ත්ව මෙන්ම අනාගතය පිළිබඳ පුරෝකථන නිවැරදි ව සලකා බලමිනි.  2024 වසර සඳහා පැවති මධ්‍යම ආර්ථික කටයුතු සමුළුවේ දී ද මෙම ලක්ෂණය මනාව ප්‍රකට විය. දේශීය ඉල්ලුම් ව්‍යාප්තිය තහවුරු කිරීම,  ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රදේශ හා ගොවීන් පිළිබඳ වැඩසටහන් නිසි ලෙස ක්‍රියාවට නැංවීම සහ ජෛව ශිෂ්ටාචාරය ගොඩනැගීම චීනයේ දේශීය ආර්ථික ස්ථාවරය සහතික කරන සාධක වේ. ප්‍රබල කෘෂිකාර්මික පදනමක් සහිත චීනය එම අංශය කෙරෙහි දක්වන අවධානය කිසිවිටෙක හීන වීමට ඉඩ නොතබන බව ද ලාල් කුමාර මහතා පෙන්වාදෙයි.

මෙවර ඉදිරිපත් කෙරුණු සැලසුම් අතර, තාක්ෂණික නවෝත්පාදන සහිත නවීන කර්මාන්ත පද්ධතියක් ගොඩනැගීම සහ ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීම වැනි ක්‍රියාමාර්ග ගෝලීය ආර්ථික ක්ෂේත්‍රයේ චීනයට හිමි තැන වඩාත් ස්ථාවර කිරීමෙහි ලා ඍජුව බලපානු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම වසරේ චීන ආර්ථික වර්ධන පුරෝකථනය 0.4% කින් ඉහළ නංවා ඇත්තේ ද චීනය ප්‍රකට කරන ආර්ථිකමය සාර්ථකත්වය හේතුවෙනි.

චීනයේ ජයග්‍රාහී සංවර්ධනය, පසුගිය දා චීන සංචාරයකට එක් වූ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි මහා මණ්ඩල සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් මහතාගේ ඉහළ පැසසුමට ද ලක්විය. යටිතල පහසුකම් සංවර්ධනය හා දරිද්‍රතාව පිටුදැකීමඇතුළු අංශ ගණනාවක චීනය ලද ජයග්‍රහණ දිගුකාලීන සැලසුම්, කැපවීම හා අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵල බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

තම සාර්ථකත්වයේ දෙවැනි සියවස උදෙසා වන සංවර්ධනීය චාරිකාවේ නිරත චීනය, සංවර්ධනය වෙමින් පවතින රටවලට ආදර්ශ රැසක් ද සපයා දෙමින් පෙරටම ගමන් කරනු ඇති බවට ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ලාල් කුමාර මහතා විශ්වාසය පළ කරයි. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම