ප්‍රධාන කෘෂි භෝග අපනයනකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව නඟාසිටුවීමට රජය කැප වී කටයුතු කරමින් සිටින බව ජනපති කියයි
2024-02-21 16:18:20
Share with:

කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි භෝග අපනයනකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව නඟාසිටුවීමට රජය කැප වී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා ශාන්තිකර කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයේ සමාරම්භක සැසිය අමතමිනි.

ආහාර සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම, තිරසර නිෂ්පාදනය සඳහා කෘෂි ආහාර පද්ධති පරිවර්තනය කිරීම මෙන්ම තිරසර සංවර්ධන ඉලක්කවලට අදාළ තිරසර සහ ඔරොත්තු දෙනසුලු කෘෂිකාර්මික පද්ධති ගොඩනැඟීම සඳහා ආහාර හා කෘෂිකර්ම සංවිධානය ආසියා ශාන්තිකර කලාපය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බවද ජනාධිපතිවරයා කීය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල් 46 අතරින් චීනය, ඇමරිකාව සහ රුසියාව ඇතුළු රටවල් 34ක රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 19 දා එම සමුළුව කොළඹදී ආරම්භ විය.

2022 වර්ෂයේදී බංග්ලාදේශය මේ සමුළුවේ සත්කාරකත්වය දැරූ අතර, මෙම වසරේ  සිට 2026 වසර දක්වා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා ශාන්තිකර කලාපයේ සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ඇත. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම