චීනයේ ජයග්‍රාහී සංවර්ධනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරයාගේ පැසසුමට
2024-02-17 19:11:05
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78වන මහා මණ්ඩලයේ සභාපති Dennis Francis මහතා දශක හතරක රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔහුගේ ධූර කාලයේ දී ජගත් ප්‍රජාව අතර  “සාමය, සමෘද්ධිය, ප්‍රගතිය හා තිරසරභාවය” ජනිත කිරීම ඉලක්කය විය. එය චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව කටයුතු කිරීමේ ඉලක්කය ද වේ. පසුගිය දා Dennis Francis මහතා චීනයේ සංචාරයක නිරත විය. එහිදී චීන මාධ්‍ය සමූහය ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදී Dennis Francis මහතා සිය චීන සංචාරය පිළිබඳ අදහස් දැක්වීය. යටිතල පහසුකම් සංවර්ධනය, දරිද්‍රතාව පිටුදැකීම, කාන්තා අයිතිවාසිකම් සුරැකීම හා අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍රවල චීනය ලබාගෙන ඇති ජයග්‍රහණ සියැසින් දුටු බවත්, එම ජයග්‍රහණ එක්සත් ජාතීන්ගේ සංවිධානය ජගත් ප්‍රජාව තුළ අපේක්ෂා කරන තිරසර සංවර්ධන ඉලක්කයන් බවත්, Dennis Francis මහතා කියාසිටියේය. චීනය ‍මෙවන් දැවැන්ත ජයග්‍රහණ අත්කර ගෙන ඇත්තේ දිගුකාලීන කැපකිරීම් හා අඛණ්ඩ උත්සාහය මගිනි. චීන ජනතාවගේ ස්වයංවිනය ද ඔහුගේ ඇගයීමට ලක් විය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටක් වශයෙන් චීනය සෑමවිටම එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් බහුපාර්ශ්වවාදයටත් අනුබල දෙයි. ජනතා අයිතීන් කේන්ද්‍ර කරගන්නා චීනය සෑමවිටම තිරසර සංවර්ධනයේ නියැළී සිටී. චීනයේ මෙම ක්‍රියාකලාප එක්සත් ජාතීන්ගේ සංවර්ධන සංකල්පයට සරිලන අතර එය සංවර්ධනය වෙමින් පවතින රටවල නවීකරණ අවශ්‍යතා වෙනුවෙන් මනා ආදර්ශයක් ද සපයන බව Dennis Francis මහතා පෙන්වා දෙයි.  විශේෂයෙන් යටිතල පහසුකම් සංවර්ධනය අතින් චීනය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා‍ ඇත. චීනය රට පුරා පුළුල් යටිතල පහසුකම් ජාලයක් ස්ථාපිත කර ඇති බැවින් රටේ තිරසර සංවර්ධනයට එයින් ප්‍රබල රුකුලක් ලැබී තිබේ. මෙය චීනයට සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග බෙදාගත හැකි සාර්ථක ක්ෂේත්‍රයක් බව Dennis Francis මහතා පවසයි. වර්තමානයේ ලොව මිලියන 865ක ජනතාවක් තවමත් දරිද්‍රතාවයෙන් පීඩා විඳින පසුබිමක අන්ත දිළිඳුකම රටෙන් තුරන් කිරීමට චීනය සමත්ව තිබීම කාගේත් පැසසුමට ලක්වන කරුණක් බව ඔහු පෙන්වා දෙයි. දරිද්‍රතාවය පිටුදැකීමේදී චීනය ලද අත්දැකීම් සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ද බෙදාගත හැකි ය.වසර ගණනාවක් පුරා එක්සත් ජාතීන්ගේ සංවිධානයට නන් අයුරින් සහාය ලබාදෙමින් ජගත් ප්‍රජාවේ සුබසිද්ධිය වෙනුවෙන් චීනය මහඟු සේවයක් ඉටු කර ඇති බවත්, ඉදිරියේදී චීනය තවදුරටත් සහාය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම