ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර පිළිබඳ බොහෝ රටවල් සිය කනස්සල්ල පළ කරයි
2024-02-16 15:51:07
Share with:

ඊශ්‍රායල හමුදාව පසුගිය 12වැනිදා දකුණු ගාසා තීරයේ රෆා නගරය සහ ඒ අවට ප්‍රදේශවලට එරෙහිව ගොඩබිමෙන්, මුහුදින් සහ ගුවනින් යන සියලු ආකාරයෙන් ප්‍රහාර දියත් කළේය. 14වැනිදා ඊශ්‍රායල හමුදාව උතුරු ගාසා තීරයේ ගාසා නගරයේ ප්‍රදේශ රැසකට ද දරුණු බෝම්බ ප්‍රහාර එල්ල කළේය. එමෙන්ම ඊශ්‍රායල හමුදාව ඊයේ (15) දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයේ රෝහලයක් ආක්‍රමණය කර ඇති අතර එහි රෝගීන් විශාල සංඛ්‍යාවක් ඉවත් කර ගැනීමට නොහැකි වී තිබේ. ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට එල්ල කරන අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් විශාල ජීවිත සංඛ්‍යාවකට හානි සිදු වී ඇති අතර සිදුව ඇති විශාල මානුෂීය ව්‍යසනය පිළිබඳව බොහෝ රටවල් සිය කනස්සල්ල පළ කර තිබේ. ප්‍රංශය, ජර්මනිය, ඊජිප්තුව, බ්‍රසීලය, ග්‍රීසිය සහ අනෙකුත් රටවල් කඩිනමින් ගාසා තීරයේ සටන් විරාමයක් අරඹන ලෙස ප්‍රකාශ නිකුත් කළහ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල වෙබ් අඩවිය ඔස්ට්‍රේලියානු, කැනඩා සහ නවසීලන්ත අග්‍රාමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයක් ඊයේ (15) නිකුත් කළේය. ඊශ්‍රායලය රෆා නගරයට එරෙහිව ගොඩබිම් ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට පළ වූ පුවත සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කළ එම ප්‍රකාශය ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් ද කර ඇත.

ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා ඊයේ (15) ඊශ්‍රායල අග්‍රාමාත්‍ය Benjamin Netanyahu මහතා සමග දුරකථන සංවාදයක් සිදු කර තිබේ. රෆා නගරයේ සිවිල් වැසියන්ගේ ආරක්‍ෂාව සහ ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම සහතික කිරීම සඳහා විශ්වසනීය සහ ක්‍රියාත්මක කළ හැකි සැලැස්මක් සකස් කරන තුරු ඊශ්‍රායලය රෆා නගරයේ හමුදා මෙහෙයුම් සිදු නොකළ යුතු බව Joe Biden එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම