චීන ජනපති උදා වන නව වසර වෙනුවෙන් චීන ජනතාවට සුබ පැතුම් පිරිනමයි
2024-02-08 16:02:24
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන ජනතාව වෙත අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනමයි. 2024 වසන්ත උත්සවය හෙවත් සාම්ප්‍රදායික නව වසර වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය අද (8) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහ ශාලාවේදී උත්සවයක් පැවැත්වීය. මහජන මහ ශාලාව තුළ නව අවුරුදු උත්සවශ්‍රීය සමග විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයෝ රැස්ව සිටියහ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.  එහිදී චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරමින් හෙතෙම චීන ජනතාව මෙන්ම හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාපවල ස්වදේශිකයන්, තායිවාන ස්වදේශිකයන් සහ එතෙර චීන ජාතිකයන් වෙත නව වසර වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීය. කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ විවිධ දුෂ්කරතා මැඩපවත්වමින් සමාජවාදී නවීකරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට චීනයට හැකි වී ඇතැයි ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී පැවසීය. 2024 වසරට චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා වසර 75ක් සපිරේ. උදා වන සාම්ප්‍රදායික මකරාගේ වසරේ චීනය ප්‍රතිසංස්කරණ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරමින් චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇත. මකරා යනු චීන ජාතික අධ්‍යාත්මික සංකේතයකි. මකරාගේ ජවය, නිර්භීතභාවය, ශක්තිය හා තේජස උරුම කරගෙන, උදා වන නව වසරේ චීන ජනතාව රටේ සංවර්ධනයට වඩාත් ක්‍රියාශීලිව හා කැපවීමෙන් එක් වනු ඇති බවට චීන ජනාධිපතිවරයා බලාපො‍රොත්තු පළ කළේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම