9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභාවාරය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
2024-02-07 16:00:02
Share with:

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය අද (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ. පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ඉතා අඩු වියදමෙන් සරල සහ චාම් අයුරින් පැවැත්විණ. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ 2022 අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්‍රාථමික හිඟය, 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් කර ගැනීමට හැකිවූ බවයි. නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කරගැනීමට හැකි වූ 6 වැනි අවස්ථාව මෙය බවත් ජනාධිපතිවරයා පැවසීය. ශ්‍රී ලංකා ආර්ථිකය කෙටි කලකදී ප්‍රකෘති කිරීමට හැකි වීම ලෝක වාර්තාවක් බව ද හෙතෙම කීය.

අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දීමට සැලසුම් කර ඇත. අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවකට ප්‍රතිලාභ ලබා දීමටත්, නාගරික අඩු ආදායම්ලාභී නිවාස 50000කට වැඩි සංඛ්‍යාවක පූර්ණ අයිතිය නිවැසියන්ට ලබා දීමටත් අපේක්ෂිතය. සංචාරක කර්මාන්තයේ ඉහළ වර්ධනයක් අත් කරගෙන ඇති අතර වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. සියළු දෙනා එක්ව නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර පොදු යහපත වෙනුවෙන් අළුත් ගමනක් යාමට එක් වන ලෙස සියළු දෙනාට ඇරයුම් කරන බවද ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම