නව ලිබරල්වාදී ආර්ථික මොඩලය තවදුරටත් වලංගු නැහැ
2024-02-07 15:14:45
Share with:

චීන ආර්ථීකය වත්මන් ලෝක ආර්ථිකයට  ප්‍රබල ලෙස  සාධනීය බලපෑම් ඇති කරමින් සිටී. විශේෂයෙන් චීන ආර්ථිකය මූර්ත ආර්ථිකයන් අතර ප්‍රබලතම ආර්ථීකය ලෙස‍‍ට හැඳින්විය හැකි බව  කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රිපාලි මණ්ඩපයේ ජනසන්නිවේදන අධ්‍යායනාංශයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි. ලෝක ආර්ථිකය ප්‍රධාන වශයෙන් සංකේතාත්මක ආර්ථීකය, මූල්‍ය ආර්ථිකය සහ ද්‍රව්‍යමය ආර්ථීකය වශයෙන් බෙදිය හැකිය. චීනය ගත් විට සමස්ත ලෝක ආර්ථිකයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඇති මූර්ත වටිනාකමට දායක වෙයි. මීට වසර අසූවකට පෙර ඇමරිකාව මූර්ත ආර්ථික නිෂ්පාදිතයෙන් 49%කට දායක වුවද අද වන විට එරට සැබෑ ආර්ථීක නිශ්පාදිතය 14%ක් දක්වා අඩුවී තිබේ.

චීනයේ  භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය ජාතික වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන්ද ප්‍රසාරණය වී ඇත. චීනය විශාල ක්‍රය ශක්තියක් ඇති රටකි. විශාල මධ්‍යම පන්තිකයන් පිරිසක් සිටින රටක් ලෙස චීනයේ අභ්‍යන්තර ආර්ථිකය ප්‍රසාරණය වී ඇති බවද හෙතෙම කියා සිටී. එමෙන්ම ලෝකයේ සිදුවන ඉදිකිරිම්  වැනි විශාල  අංශ වලින් චීනය ඉදිරියෙන් සිටී. පසු කාලීනව ලෝකය පුරා සිදුවූ ආර්ථික බිඳ වැටීම් හමුවේ ඇමරිකාව ඇතුළු යුරෝපා දියුණු රටවල් පවා ආර්ථීක අර්බුදයට මුහුණ දුන්නේය.

මෙම අර්බුදයේ ස්වභාවය මුල්‍ය ආර්ථිකය ප්‍රසාරණය වීමය. සංකේතාත්මක මුල්‍ය ආර්ථිකය ප්‍රසාරණයවීමෙන් මතුවන අර්බුදය සහ නව ලිබරල්වාදි ආර්ථික මොඩලය තවදුරටත් ඇමරිකාව සහ යුරෝපා රටවල් වලට වලංගු නොවන තත්ත්වයක්ද එහිදී උද්ගත වී ඇත. එනම් එම මොඩලයේ  සංවර්ධන  ශක්‍යතාවන් සහ විභවතාවන් නිමාවට පත් වී ඇති බව ඉතා පැහැදිලිව පෙනි යන කරුණකි. වත්මන් ලෝකය මුහුණ පා ඇති  මූලික ස්වභාවය එයයි. චීන ආර්ථිකය  තම මුල්‍ය ආර්ථිකය ප්‍රසාරණය කිරීම රාජ්‍ය මැදිහත් වීම ඔස්සේ ක්‍රමානකූලව සිදු කරයි. එසේම නිසියාකාරයෙන් කළමනාකරණය සහ නියාමනය කර ගැනීම ඔස්සේ ආර්ථිකය තුලනාත්මක ව පවත්වාගෙන යාම තුළ චීන ආර්ථිකයට ලෝක ආර්ථික අර්බුදය හමුවේ බේරි සිටීමට විශාල අවකාශයක් හිමිව ඇති බවද මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා කියා සිටී.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම