ජනපති සහ තායිලන්ත අගමැති අතර සාකච්ඡාවක්.. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමට ද අත්සන් තැබේ
2024-02-04 14:29:36
Share with:

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඓතිහාසික සබඳතාවයේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් දෙරට අතර වෙළෙඳ, සංචාරක, ධීවර සහ කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සබඳතා ශක්තිමත් කරගැනීම කෙරෙහි දෙරට නායකයන්ගේ අවධානය යොමු වෙයි.

76 වන ජාතික නිදහස් සමරු උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට මෙරටට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතා මිත්‍රශීලී ලෙස පිළිගනු ලැබීය. ආචාර වෙඩි මුර 19ක් සහිතව හමුදා උත්තමාචාර ද පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1955 වසරේදී ආරම්භ වුවත්, දෙරට අතර පවතින දීර්ඝකාලීන සමීප සබඳතාව තිරසර සම්බන්ධතාවක් බවට පරිවර්තනය කර ගැනීම තම අරමුණ බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) එහි සුවිශේෂී අවස්ථාවක් බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියාන් කලාපය තුළ සිය අපනයන වෙළෙඳපොළ ශක්තිමත් කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බවත් ආසියාන් කලාපයේ ප්‍රධාන ආයෝජන සඳහා ද ශ්‍රී ලංකාව තුළ පුළුල් ඉඩ ප්‍රස්තා නිර්මාණය වී තිබෙන බවත් පෙන්වා දුන්නේය.

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට අයදුම්කර ඇති බවත්, එම කටයුතුවලදී තායිලන්තයේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා රහිතව දෙරට අතර ගමන් කිරීමට අවස්ථාව සැලසීමේ වැඩසටහනක් පිළිබඳව ද සාකච්ඡා කළහ.

ආයෝජන, ධීවර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයන් දෙපළ සාකච්ඡා කළ අතර, ජාත්‍යන්තර අපරාධ මැඩපැවැත්වීම සඳහා බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ දී දෙරට අතර සහයෝගීතා වැඩපිළිවෙළක අවශ්‍යතාව ද නායක දෙපළ අවධාරණය කළහ. ඒ වෙනුවෙන් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.

අනතුරුව, දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට නායක දෙපළ හමුවේ අත්සන් තැබිණ. තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් ඊට අත්සන් තැබූහ.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ අවබෝධතා ගිවිසුමකට සහ නව ගුවන් සේවා ගිවිසුමකට ද අත්සන් තැබිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම