මාතර කලා උළෙල ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
2024-02-03 15:45:31
Share with:

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගන්නා මාතර කලා උළෙල ඇරඹේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) එය ආරම්භ කෙරිණ.

ආර්ථික හා සමාජයීය පුනර්ජීවනය උදෙසා  සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාව පැවැත්වෙන මෙම කලා උළෙල ලබන 4 දක්වා මාතර කොටුවේ දී පැවැත්වේ.

වසර ආරම්භයේ දී ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව පැවැත්වෙන මාතර කලා උළෙල ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදෙස් සංචාරකයන්ට ද සුවිශේෂ අත්දැකීමකි. චිත්‍ර සහ වෙනත් නිර්මාණ ප්‍රදර්ශන, සංස්කෘතික ප්‍රසංග, වැඩමුළු සහ සාකච්ඡා සහ ප්‍රජා වෙළෙඳපොළ ඇතුළු සංස්කෘතිකාංග රැසකින් මෙය සමන්විතය.

UNESCO සංවිධානය විසින් සංරක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති මාතර කොටුව, නගරය සහ මාතර දිස්ත්‍රික්කයේ සම්ප්‍රදායික කලා අංග, මෙරට ආර්ථික හා සමාජයීය පුනර්ජීවනයට සුවිශේෂ දායකත්වයක් සපයයි. ගෝලීය හවුල්කරුවන් සමග සංස්කෘතික දැනුම හුවමාරු කර ගැනීමට ද මෙම කලා උළෙල ඉවහල් වේ. මාතර Freedom Hub සංසදය විසින් මෙම කලා උළෙල ආරම්භ කරනු ලැබීය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද උළෙල නැරඹීමට එක්වූවාය.

මාතර කලා උළෙලට සහභාගි වීමෙන් අනතුරුව නිල්වලා ගඟබඩ උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා මාතර සංවර්ධන සැලැස්ම පිළිබඳව ද කරුණු විමසා බැලීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම