නිෂ්පාදනය ප්‍රමාණවත් බැවින් මෙම වසරේ සහල් ආනයනය නොකරන බව කෘෂිකර්ම ඇමති කියයි
2024-01-30 14:31:28
Share with:

රට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසරේ දී සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එසේම 2024 වර්ෂයේ දී වී, බඩ ඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග අස්වනු ජාතික අවශ්‍යතාවයේ ඉලක්කයට ළඟා කරවීම සඳහා ප්‍රමුඛතාව දී ක්‍රියා කිරීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා කියාසිටී.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

2023 වසරේ යල සහ මහ කන්නවල පොහොර මිලදී ගැනීම සඳහා මූල්‍ය සහනාධාර වශයෙන් රුපියල් බිලියන 22 ක මුදලක් වැයකෙරුණු අතර, වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 13 ක මුදලක් වැය කළ බව ඇමතිවරයා පැවසීය. 2022 වර්ෂයේ දී මෙරටට සහල් මෙට්‍රික් ටොන් 8 ක් ආනයනය කළ ද, 2023 වර්ෂයේ දී සහල් ආනයනයක් සිදුනොවීය. වසර පුරාම මෙරට ජනතාව පරිභෝජනය කළේ, අප රටේ ගොවි ජනතාව නිෂ්පාදනය කරන ලද සහල් වීම විශේෂත්වයකි. අර්බුද මැද වුවත් මෙම වසරේත් සහල් ආනයනය කිරීමට අපේක්ෂා නොකරන බව ද අමරවීර මහතා කියාසිටී.

එසේම, තේ, රබර් සහ පොල් වගාවන් සඳහා රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් සහන මිලට පොහොර ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම