තායිලන්තය එකම චීනය මූලධර්මය අනුගමනය කිරීම චීන විදේශ අමාත්‍යවරයාගේ පැසසුමට ලක්වෙයි
2024-01-29 18:36:16
Share with:

තායිලන්තය එකම චීනය මූලධර්මය අනුගමනය කිරීම බෙහෙවින් අගය කරන බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි. ඔහු මේ බව කියාසිටියේ තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin මහතා සමග බැංකොක් නුවර දී අද (29) පැවැත්වූ සාකච්ඡාවේ දී ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා මෙහිදී කියාසිටියේ තායිලන්තය සමග පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාව චීනය ඉහළින් සලකන බවයි. තායි අග්‍රාමාත්‍යවරයා පසුගිය වසරේ ධුරයට පත් වීමෙන් පසු මුල් පෙළේ නිල සංචාරයක් සඳහා චීනය තෝරා ගැනීමෙන් දෙරට අතර පවතින සබඳතාවයේ වටිනාකම මැනැවින් පිළිබිඹු වූ බවද හෙතෙම පැවසීය. එසේම එය චීනය හා තායිලන්තය එකම පවුලක් බව තහවුරු කර ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

උපායමාර්ගික සහයෝගිතා හවුල්කරුවන් ලෙස දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මෙන්ම කලාපීය වශයෙන් ද සංවර්ධනය අත්පත් කර ගත හැකිවනු ඇතැයි ද වං යී මහතා විශ්වාසය පළකළේය. එසේම දෙරට නායකයන්ගේ මගපෙන්වීම යටතේ ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් සහතික කළ යුතු බව ද හෙතෙම පැවසීය.

තායිලන්තය සමග උසස් තත්ත්වයේ හුවමාරු පවත්වා ගැනීම ද චීනයේ අපේක්ෂාවකි. මානව හුවමාරු මෙන්ම සංචාරක, වෙළඳ හා ආයෝජන සබඳතා ද මෙහිදී තරකිරීමට චීනය සූදානම් බව ද විදේශ අමාත්‍යවරයා පැවසීය.

තායිලන්ත අගමැතිවරයා මෙහිදී කියාසිටියේ තායිලන්තය නිරතුරුව එකම චීනය මූලධර්මය හා බැඳීසිටින බවයි. අන්‍යෝන්‍ය වීසා රහිත ප්‍රතිපත්තිය දෙරට අතර සියලු සබඳතා තවදුරටත් තහවුරු කරනු ඇතැයි ද හෙතෙම කියාසිටියේය. එසේම තායිලන්තය එක් තීරයක් එක් මාවතක් සහයෝගිතා නැංවීමට ද සක්‍රිය ව දායක වනු ඇත.

2025 වසරේ යෙදෙන ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වයේ ස්වර්ණ ජයන්තිය නිමිති කරගනිමින් දෙරට තවදුරටත් උසස් තත්ත්වයේ සබඳතා තහවුරු කර ගතයුතු බවද අගමැතිවරයා කියාසිටියේය. මෙම හමුවෙන් අනතුරුව දෙරට අතර සහයෝගිතා ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට ද චීන විදේශ අමාත්‍යවරයා සහ තායිලන්ත අගමැතිවරයා සහභාගි වූහ

වං යී මහතා තම සංචාරය අතරතුර තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම විදේශ අමාත්‍ය  Parnpree Bahiddha-Nukara මහතා සහ  එරට Maha Chakri Sirindhorn කුමරිය ද හමු වී සාකච්ඡා පැවැත්වීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම