චීනය සමග රාජ්‍යතාන්‍ත්‍රික සම්බන්ධතාව යළි ආරම්භ කිරීම, ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිට නාවුරු දේශය ගත් තීරණයක් බව එරට විදේශ ඇමති කියයි
2024-01-28 18:24:48
Share with:

ජනවාරි 24වනදා ‘චීන මහජන සමූහාණ්ඩුව හා නාවුරු ජනරජය අතර රාජ්‍යතාන්‍ත්‍රික සම්බන්ධතාව යළි ආරම්භ කිරීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනය’ බෙයිජිංහිදී අත්සන් තැබිණ. ඒ අනුව එදින සිට දෙරට අතර තානාපති මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය යළි ගොඩනගා ඇත. එම නිවේදනය අත්සන් කර පැයකට පසුව නාවුරු විදේශ අමාත්‍ය  Lionel Aingimea මහතා චීන මාධ්‍ය සමූහයේ වාර්තාකාරිනියක සමග සම්මුඛ සාකච්ඡාවකට එක්විය.

චීනය සමග යළි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව එහිදී ඔහු අදහස් දැක්වීය. මෙය තම රට වඩාත් බලවත් සංවර්ධනය කරා යොමු කරවන ඓතිහාසික අවස්ථාවක් බව ඔහු කීය. චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව යළි ආරම්භ කිරීම හා එකම චීනය මූලධර්මය පිළිපැදීම, තම රට ගැඹුරින් සිතා ගත් තීරණයක් මිස, හදිසි තීරණයක් නොවන බව ද ඔහු සඳහන් කර ඇත.

ඕනෑම රටක්, නැතහොත් ඕනෑම සංවර්ධනය වෙමින් පවතින රටක්, පසුගාමීව සිටීමට අපේක්ෂා නොකරයි. ලෝක දෙවන විශාලතම ආර්ථික ඒකකය වන චීනය ජාත්‍යන්තර වේදිකාවේදී පෙර නොවූ ආකාරයෙන් සිය කාර්යභාරයන් ඉටු කරමින් සිටියි. චීනය සමග හවුල් නොවීමට හේතුවක් නොමැති බව ද නාවුරු විදේශ අමාත්‍යවරයා විග්‍රහ කළේය. නාවුරු දේශයේ බොහෝ චීන ජාතිකයින් සිටින අතර චීනයේ ආනයනික භාණ්ඩ රැසක් ද දක්නට ඇත. චීන සමාගමක් තම රටේ වරායයන් සංවර්ධනය කරමින් සිටියි. විදුලි කේබල් ජාලය, සූර්ය බලශක්ති පැනල සංවර්ධනය ඇතුළු ප්‍රතිචක්‍රීය බලශක්ති ක්ෂේත්‍රයෙහි ද ඔවුහූ නිරතව සිටිති. දෙරට අතර ප්‍රායෝගික සහයෝගතා නාවුරු දූපතේ දැනටමත් ආරම්භ වී ඇති බව ද විදේශ අමාත්‍යවරයා විස්තර කළේය.

එකම චීනය මූලධර්මයෙහි එල්බ සිටීමේ ප්‍රවණතාව දකින්නේ කෙසේ ද යන ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේය. මේ වන විට රටවල් 183ක් එකම චීනය මූලධර්මය පිළි ගෙන ඇත. එය වෙනස් කළ  නොහැකි ගෝලීය සිද්ධාන්තයකි. චීන මහජන සමූහාණ්ඩුව සමග රාජ්‍යතාන්‍ත්‍රික සම්බන්ධතාව යළි ආරම්භ කිරීම, ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිට නාවුරු දේශය ගත් තීරණයක් යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම