ස්වීඩනයේ නේටෝ සාමාජිකත්ව අයැදුමට තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය
2024-01-24 10:10:53
Share with:

නේටෝ සංවිධානයේ 32 වැනි සාමාජිකයා බවට පත්වීම සඳහා ස්වීඩනය කළ ඉල්ලීමට තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ වේ. මීට අදාළව දිගුකලක් ප්‍රමාද වූ පනත් කෙටුම්පත තුර්කි නීති සම්පාදකයන් විසින් ඊයේ (23) අනුමත කරනු ලැබීය.

තුර්කි පාර්ලිමේන්තුවේ ජාතික සභාවේ පැවති විවාදයකින් පසුව ඡන්ද විමසීම පවත්වනු ලැබූ අතර, මන්ත්‍රීවරු 346 දෙනෙක් ඊට සහභාගි වූහ. එහිදී පනතට පක්ෂව ඡන්ද 287 ක බහුතරයක් හිමිවිය.

තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan දින කිහිපයක් ඇතුළත පනත් කෙටුම්පතට අත්සන් තැබීමට නියමිත ය.

තුර්කි පාර්ලිමේන්තුවේ මෙම අනුමැතිය ස්වීඩන අගමැති Ulf Kristersson මහතා විසින් ද පිළිගෙන තිබේ. නේටෝවේ පූර්ණ සාමාජිකත්වය ලැබීම සඳහා ස්වීඩනය එක් පියවරකින් සමීප වූ බව අගමැතිවරයා ට්විටර් පණිවුඩයක සටහන් කර ඇත.

ඒ අනුව, මේ වනවිට නේටෝ සංවිධානයට එක්වීමේ ස්වීඩනයේ අයදුම්පතට අනුමැතිය ලබා නොදුන් එකම සාමාජික රට වන්නේ හංගේරියාවයි.

ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධාන සාමාජිකත්වය අයදුම් කළේ 2022 වසරේ රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසුවයි. කිසියම් රටක සාමාජිකත්වය සඳහා නේටෝවේ සියලුම සාමාජිකයන්ගේ ඒකමතික අනුමැතිය අවශ්‍ය වේ. පසුගිය වසරේ මාර්තු මාසයේ දී තුර්කිය ෆින්ලන්තයේ ඉල්ලීම අනුමත කළ ද අන්කාරා අගනුවර පවතින ආරක්ෂක තත්ත්වය කෙරෙහි තවදුරටත් සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටීම නිසා ස්වීඩනයට සාමාජිකත්වය හිමිවීම ප්‍රමාද විය.

තුර්කි ජනාධිපතිවරයා අදාළ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය ඔක්තෝබර් මාසයේ දී ය.

ස්වීඩනය නේටෝ සංවිධානයට එක්වීම අනුමත කරන ලෙස ඇමරිකාව තුර්කියට බලපෑම් කර ඇත. එසේම, අන්කාරා නගරයට F-16 ප්‍රහාරක ජෙට් යානා විකිණීමට අනුමැතිය ලබාදීමේ සහතිකය රඳවාගනිමින් තුර්කිය ද වොෂින්ටනයට බලපෑම් එල්ල කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම