ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ක්‍රියාවට නංවන්නැයි ජගත් ප්‍රජාව යළි ඉල්ලා සිටී
2024-01-24 10:39:03
Share with:

ගාසා තීරයේ කඩිනම් මානුෂීය සටන් විරාමයක් ක්‍රියාවට නංවන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව යළිත් ඉල්ලා සිටී. පලස්තීන-ඊශ්‍රායල අර්බුදය නිරාකරණයට සුදුසුම සැලසුම වන්නේ“ද්වි-රාජ්‍ය විසඳුම” බව ද ඔවුහු අවධාරණය කරති.

මේ බව ප්‍රකාශ කෙරුණේ, පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (23) පැවැත්වූ ඉහළ පෙළේ සමුළුවක දී ය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ගැටුමට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ගෙන් එහිදී ඉල්ලා සිටියේ මානුෂීය සටන් විරාමයක් වහා ක්‍රියාවට නංවන ලෙසයි. ගාසා හි මානුෂීය කටයුතු හා ප්‍රතිසංස්කරණ සඳහා අලුතින් පත්කෙරුණු එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක Sigrid Kaag මහත්මිය සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන ලෙස ද හෙතෙම ඉල්ලීමක් කළේය.  ඊශ්‍රායල අග්‍රාමාත්‍ය Benjamin Netanyahu මහතා “ද්වි රාජ්‍ය විසඳුම” යළි යළිත් ප්‍රතික්ෂේප කිරීම පිළිගත නොහැකි බව ද ජගත් මහලේකම්වරයා පැවසීය.

පලස්තීන විදේශ අමාත්‍ය Riyad al-Maliki මහතා මෙහිදී පැවසුවේ ජාත්‍යන්තර ප්‍රජාව මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටින නමුත් ඊශ්‍රායල රජය පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරන බවයි. ඊශ්‍රායලයට පලස්තීනය පිළිබඳ නිෂේධ බලයක් හිමි නැති බව අවධාරණය කරන ඔහු තම රට පිළිගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සැබෑ සාමයක් ඇතිවීමට පෙර හමාස් සංවිධානය තුරන් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල නිත්‍ය නියෝජිත Gilad Erdan මහතා එහිදී යළිත් වරක් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම